ගූගල් හි ගූගල් ප්ලස් සමාජජාලය තුළ දත්ත නිරාවරණය වීමක් හේතුවෙන් එහි ඇතැම් කොටස් වසා දැමීමට ගූගල් ක්‍රියාකර තිබේ.
ඒ මෘදුකාංගය වෙත ඇතුළු වූ බග් වැඩසටහනක් (වැරදි නිගමන ලබාදෙන මෘදුකාංග දෝෂයක්) හේතුවෙන් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ ඉඩක් පවතින බවට මෙහිදී සැකයක් පැවතී ඇත.
ගූගල් පවසන්නේ පරිශීලකයන් ලක්ෂ 5කට පමණ මෙම බලපෑම සිදුව ඇති බවයි.
වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් හෙළි කළ මෙම වාර්තාවට අනුව පසුගිය මාර්තු මාසයේදී මේ සම්බන්ධයෙන් ගූගල් දැනුවත්ව තිබුණත්, එය හෙළි කිරීමට ඔවුන් කටයුතු කර නැත.
නමුත්, එම වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ගූගල් සමාගම පවසන්නේ මෙය ජනතාවට දැනගත යුතු තරම් ප්‍රබල තත්ත්වයක් නොවන බැවින් එය හෙළි නොකළ බවයි.
2011 වසරේදී ගූගල් ප්ලස් එළිදැක්වීමට ගූගල් සමාගම කටයුතු කළත්, එය ෆේස්බුක් සමග තරකිරීමට තරම් ප්‍රබල සමාජ මාධ්‍යයක් නොවන බව ප්‍රකට කර තිබුණි.
ඒ අනුව, මේ වනවිට වසර කිහිපයක අත්දැකීම් සමග ගූගල් ප්ලස් යනු වසා දැමීමට නියමිත සමාජජාලයක් බවට පත්වෙමින් ඇත.