කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ නව ඖෂධයක් ප්‍රථම වරට මිනිසුන්ට ලබාදෙමින් එම අධ්‍යයනය ආරම්භ කර ඇති බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
පසුගිය මාස කිහිපය තුළ 80,000කට අධික පිරිසකට ආසාදනය වී, ලොව පුරා 2,800කට වැඩි පිරිසකට ජීවිත අහිමිකළ වෛරසයට මෙතෙක් ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නැත.
කොරෝනා වෛරස් රෝගයෙන් පෙළෙන වැඩිහිටියන්ගේ ප්‍රතිවෛරස් ඖෂධය ක්‍රියාකරන ආකාරය හා එම ඖෂධයෙන් ලැබෙන ආරක්ෂාව මෙන්ම එහි ඵලදායීතාව තක්සේරු කිරීම සඳහා සායනික අත්හදා බැලීමක් ඔමාහාහි නෙබ්‍රස්කා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ආරම්භ කළ බව ජාතික සෞඛ්‍ය ආයතන පවසයි.
ඒ අනුව මෙම පරීක්ෂණය සඳහා මුලින්ම සහභාගිවන්නා ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් ගොඩබසින ලද ඇමරිකානුවෙකි.
අඟහරුවාදා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල ඉහළ නිලධාරීන් විසින් නව කොරෝනා වෛරස් පැතිරීම පිළිබඳව අනතුරු ඇඟවූ අතර, වෛරසය පැතිරීම පාලනය කිරීමේ කාර්ය සාධක බලකායක්ද එක්සක් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් යටතේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.