එක්සත් ජනපදයේ, කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් මගී ප්රවාහන බෝට්ටුවක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 33 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
එහිදී, බෝට්ටුවේ සිටි පුද්ගලයන් 38 දෙනාගෙන් ජීවිතය බේරාගැනීමට හැකිවී ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙකුගේ පමණක් බව ජීවිතාරක්ෂක බලකාය පවසයි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් මීට වඩා ජීවිත හානියක් සිදුවන්නට ඇති බවටද තොරතුරු වාර්තා වුවත්, නිල වශයෙන් තොරතුරක් මෙතෙක් වාර්තා නොවන බවද විදෙස් වාර්තා පවසයි.
සැන්ටා කෘස් දූපත් ආසන්නයේදී බෝට්ටුව තුළ එක්වරම ගින්නක් හටගෙන ඇත්තේ රාත්රී කාලයේදීය. ගින්න පැතිර යාමෙන් පසු බෝට්ටුව ගිලී ඇති අතර, ජීවතුන් අතර සිටිය හැකි පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව වාර්තා වෙයි.
මෙම බෝට්ටුව පහත මහලක් සහිත කිමිදුම් පහසුකම් සහිත බෝට්ටුවක් බැවින්, ඇතැම් පිරිස් බෝට්ටුව පහළ සිරවන්නට ඇති බවද විශ්වාස කෙරෙයි.