ඉන්දියාවේදී නව කොරෝනා වෛරසය (කොවිඩ්-19) සඳහා ධනාත්මක බවට පරීක්ෂණයකින් තහවුරු කළ සිය දියණිය සිටින ස්ථානය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සැපයූ පියෙකුට එරෙහිව එරට පොලීසිය නඩුවක් ගොනුකර තිබේ.
උතුරු අග්‍රා නගරයේ වෙසෙන මෙම පුද්ගලයාට එරෙහිව නඩු පවරා ඇත්තේ 'ජීවිතයට අනතුරුදායක වන රෝගයක් නීති විරෝධී ලෙස හෝ නොසැලකිලිමත් ලෙස පැතිරවීමට' කටයුතු කළ බව පවසමිනි.
ඔහුගේ දියණියගේ ස්වාමි පුරුෂයා මාර්තු 12 වැනි දින නව කොරෝන වෛරසය සඳහා සිදුකළ පරීක්ෂණයේදී වෛරසය ආසාදිත බවට ධනාත්මක ප්‍රතිඵලයක් පෙන්වා ඇති අතර, පසුව දකුණු බෙංගාලෝරුවේදී සිදුකළ යුතු පරීක්ෂණයෙන් වැළකී ඇය අග්‍රාහි පිහිටි සිය දෙමවුපියන්ගේ නිවසට පළා ගොස් ඇත.
කෙසේ වෙතත් ආසාදිත සැමියා සෞඛ්‍ය බලධාරීන් යටතට ගැනීමේදී ඇගේ පියා පවසා ඇත්තේ තම දියණිය, නවදිල්ලිය බලා පිටත්ව ගොස් ඇති බවයි.
නමුත් පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී මෙම කාන්තාව තවදුරටත් අග්‍රාහි රැඳී සිටින බව හා එහිදී ඇය සිදුකළ පරීක්ෂණයකදී ඇයට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත.
මේ තත්ත්වය යටතේ තම දියණියව රෝහල්ගත නොකර ඇයව සඟවා සිටීමට කටයුතු කිරීම නිසා ඇගේ පියාට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ.
මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා මාර්තු 6 වැනි දින ග්‍රීසියේ සිට ඉන්දියාවට පැමිණි බව කර්නාටක ප්‍රාන්තයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යවරයා පවසයි.