උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් සමග සිය දෙවැනි සමුළුව පැවැත්වීමට අපේක්ෂා කරන්නේ යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
නිව්යෝක් නුවරදී දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් හමුවූ අවස්ථාවේදී ට්රම්ප් පවසා සිටියේ මෙතෙක් පැවති සාකච්ඡාවල විශාල වර්ධනයක් දැකිය හැකි බවයි.
"සබඳතාව ඉතා හොඳින් සිදුවෙනවා. ඇතැම් අවස්ථාවල එය සුවිශේෂී අන්දමින් සිදුවෙනවා" යැයි ට්රම්ප් පවසා සිටියේය.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පසුගිය ජූනි මාසයේදී ඓතිහාසික හමුවක් සිදුවූයේ සිංගප්පූරුවේදීය.
මෙම හමුව සම්බන්ධයෙන් ලොව බොහෝ බටහිර රටවල් වපර ඇහින් බැලීමක් සිදුකළද එය මේ වනවිට ලෝක සාමය වෙනුවෙන් වඩාත් තිරසර හමුවක් බවට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරයට සහභාගී වීමට නිව්යෝක් නුවරට ගොස් සිටි දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන්, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමග සාකච්ඡා පැවැත්වූයේ සිය ආසන්නතම උතුරු කොරියානු සංචාරයේද සාර්ථකත්වය ප්රකාශ කරමිනි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනපති සඳහන් කරන මෙම අලුත් හමුවීම සම්බන්ධයෙන් ස්ථානයක් හෝ දිනයක් පිළිබඳව මෙතෙක් නිවේදනය කර නොමැත.