ඇෆ්ගනිස්ථාන අගනුවර කාබුල්හි ද්විතියික පාසලකට ආසන්නව ඇති වූ පිපිරීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.
සිසුන් පාසලෙන් පිටව යමින් සිටියදී මෙම පිපිරීම් සිදුව තිබීමෙන් මෙය පාසල් දරුවන් ඉලක්ක කළ ප්‍රහාරයක් බව විශ්වාස කරන අතර, වීථි පුරා දරුවන්ගේ පාසල් බෑග් සහ පාවහන් විසිරී ඇති ආකාරය ඡායාරූපවල දැකගත හැකි විය.
මෙම පිපිරීම් නිසා ඝාතනයට ලක්වූවන්ගෙන් බහුතරය ගැහැණු ළමයින් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
සුන්නි ඉස්ලාමීය සටන්කාමීන් විසින් බොහෝවිට පහර දෙන ප්‍රදේශයක් වන ඩැෂ්-ඊ-බාර්චි හි මෙම ප්‍රහාරය සිදුව ඇතත් තවම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නැත. නමුත් තලේබාන් සටන්කාමීන් ඊට සම්බන්ධ නැති බව කියා තිබේ.
ඇෆ්ගනිස්ථාන නිලධාරීන් පවසන්නේ පිපිරීම් සිදුව ඇත්තේ කාර් බෝම්බයක් සහ මෝටාර් නිසා බවය.
බටහිර කාබුල්හි අසල්වැසි ප්‍රදේශය හසාරා සුළුතර ප්‍රජාවට අයත් වන අතර මොන්ගෝලියානු හා මධ්‍යම ආසියානු සම්භවයක් ඇති සහ ප්‍රධාන වශයෙන් ෂියා මුස්ලිම් ජාතිකයන් ජීවත් වෙති.
හරියටම මීට වසරකට පමණ පෙර, මෙම ප්‍රාදේශීය රෝහලේ මාතෘ ඒකකයකට පහර දුන් අතර, කාන්තාවන්, ළමයින් සහ ළදරුවන් 24 දෙනෙකු මිය ගියහ.