දැවැන්ත සොහොන් දෙකෙක තිබී මළ සිරුරු 1,000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව, කැනේඩියානු ආදිවාසී දරුවන් සඳහා නේවාසික පාසල් පවත්වාගෙන ගිය කතෝලික පල්ලියේ කාර්යභාරය ගැන සමාව අයැදීමට කැනඩාවට පැමිණෙන ලෙස පාප්තුමාගෙන් ඉල්ලා සිටින බව එරට අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ඔටාවා හි මාධ්‍යවේදීන් අමතමින් ටෘඩෝ, "සමාව ඉල්ලීම පමණක් නොවෙයි, කැනේඩියානු භූමියේ සිටින ආදිවාසී කැනේඩියානුවන්ගෙන් සමාව අයැදීම කොතරම් වැදගත්ද යන්න මා පපාතුමන් සමග පෞද්ගලිකවම කතා කළා. කතෝලික පල්ලියේ නායකත්වය මේ සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි පියවර පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරනු ඇති බව මා විශ්වාස කරනවා." යැයි පවසා සිටියේය.
බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පැරණි පාසලක සලකුණු නොකළ සොහොන් 215ක් සොයාගෙන සති කිහිපයකට පසුව, සස්කැච්වන් හි මරීවාල් නේවාසික පාසල් භූමියේ සලකුණු නොකළ සොහොන් 751ක් සොයාගැනීමත් සමග මේ මහා මනුෂ්‍ය සංහාරය ගැන ලොවට අනාවරණය විය.
කැනේඩියානු ආදිවාසී දරුවන් 150,000ක් පමණ ඔවුන්ගේ පවුල්වලින් ඉවත් කර ෆෙඩරල් රජය වෙනුවෙන් වර්ෂ 1831 සහ 1996 අතර ක්‍රියාත්මක වූ කිතුණු හා කතෝලික නේවාසික පාසල් පද්ධතිය වෙත බලහත්කාරයෙන්ම රැගෙන ඒම සිදුව ඇති බව මෙහිදී කියැවෙයි. එහිදී ෆෙඩරල් කොමිසමේ වාර්තාවකින් පෙනී ගියේ මෙම නේවාසික පාසල් පද්ධතිය කැනඩාවේ ආදිවාසීන් සංස්කෘතික ජනසංහාරයකට ලක්කර ඇති බවය.
කෙසේ වෙතත් මේ මස මුලදී බ්‍රිටිෂ් කොලොම්බියා සිද්ධිය සමග ෆ්‍රැන්සිස් පාප්තුමා සමාව අයැදීමක් නොකළද, ළමයින් 215දෙනෙකුගේ දේහයන් සොයා ගැනීම ගැන තමා දැඩි සේ කම්පාවට පත්වූ බවත්, ස්වදේශික ජනතාවගේ අයිතිවාසිකම් හා සංස්කෘතීන්ට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටියේය.