ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ ස්වයං පාලනයක් වෙනුවෙන් පැවති ජනමත විචාරණයට වසරක් සපිරීම නිමිති කරගෙන දස දහස් ගණන් ජනයාගේ සහභාගීත්වයෙන් නගර රැසක් උද්ඝෝෂණ පැවැත්වී තිබේ.
නගරසභා පොලීසිය පවසා තිබුණේ බාසිලෝනා නගරයේ පමණක් එම ප්‍රාන්තය වෙත ස්වාධීනත්වය ඉල්ලා 180,000ක පමණ ජන සහභාගීත්වයකින් උද්ඝෝෂණයක් පැවති බවයි.
මෙම විරෝධතාකරුවන් මුලින් නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක්ම අවහිර කරමින් සිටි බවද විදෙස් වාර්තා පවසයි.
2017 ඔක්තෝබර් 01 වැනිදා කැටලෝනියා ජනමතවිචාරණය පැවැත්වුණු අතර, ඔක්තෝබර් 27දා බෙදී වෙන්වූ ප්‍රාන්ත රජය සිය නිදහස ප්‍රකාශයට පත්කරන ලදී.
කෙසේ වෙතත්, පසුව ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාපිත අධිකරණය විසින් මෙම ජනමතවිචාරණය නීති විරෝධී බව පෙන්වා දෙමින්, ස්පාඤ්ඤ රජයේ සෘජු පාලනයට නැවතත් එම ප්‍රාන්තය පත්කරන ලදී.