කොංගෝ ජනරජයේ නයිරගොන්ගෝ ගිනි කන්ද පුපුරා යාමෙන් පසු 8,000කට වැඩි පිරිසක් ආරක්ෂාව පතා රුවන්ඩාවට පැමිණෙමින් සිටින බවත්, ඒ අතර සිටි සිය ගණනක් දරුවන් අතුරුදන්ව හෝ සිය පවුලවලින් වෙන්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
යුනිසෙෆ් ආයතනය ඊයේ (23දා) කියා සිටියේ නිවැසියන් ගිනි කන්ද අසල පිහිටි ගෝමා නගරයෙන් පළා යාමට දැරූ උත්සාහය සමග ඇති වූ අවුල්සහගත තත්ත්වය හමුවේ මෙසේ ළමයින් 150කට වැඩි පිරිසක් ඔවුන්ගේ පවුල්වලින් වෙන්වී ඇති අතර, තවත් 170කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවට විශ්වාස කරන බවයි.
ගිනි කන්ද පුපුරා යාමෙන් පසු මෙසේ 8,000කට වැඩි පිරිසක් එරටට පැමිණි බව රුවන්ඩාවේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය තහවුරු කර ඇත.
"නයිරගොන්ගෝ ගිනි කන්දෙන් ලාවා ගලායාම නතර වූ පසු, කොංගෝ වැසියන්ගෙන් බොහෝ දෙනෙක් ආපසු සිය රට බලා ගියා. රුවන්ඩාවට ඊයේ රාත්‍රියේ පුද්ගලයින් 8000ක් පමණ පැමිණියා" අමාත්‍යාංශය සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.
සෙනසුරාදා දිනයේ ගිනි කන්ද පුපුරා යාමෙන් පසු ගෝමා හි වැසියන් දහස් ගණනක් එළිමහනේ ගත කළ බව නෝර්වීජියානු සරණාගත කවුන්සිලය සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වනවිට ගිනිකන්දෙන් ලාවා ගලායෑම නතර වී ඇති බව සඳහන් වෙයි.