ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් එලැඹෙන සිකුරාදා දිනයේදී එරට පාර්ලිමේන්තුවෙන්ද ඉවත්වීමට තීරණය කර තිබේ.
පසුගියදා ඔහුගේ පක්ෂය තුළින් ඇති වූ බලපෑම් සමග අගමැති ධුරය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමෙන් පරාජයට පත්ව පසුබැසීමට ටර්න්බුල්ට සිදුවිය.
ඒ වෙනුවට, ස්කොට් මොරිසන් ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස තේරීපත් වූ අතර, මෙය ඔස්ට්‍රේලියානු ජනතාව යළිත් සිතා බලන සිදුවීමක් බව හිටපු අගමැතිවරයා පවසා තිබුණි.
කෙසේ වෙතත්, ඔහුගේ ඉවත්වීමත් සමග ඔස්ට්‍රේලියාව යළිත් මහ මැතිවරණයක් වෙත යෑම දක්වා දේශපාලන උණුසුමක් ඇති වෙමින් පවතින අතර, වත්මන් අගමැති මොරිසන්ගේ පාර්ලිමෙන්තු බහුතරයද අවදානමකට ලක්ව ඇති බවද කියැවේ.
කෙසේ වෙතත්, ටර්න්බුල් මේ ආකාරයෙන් වත්මන් තත්ත්වයට චෝදනා කිරීමට පෙර ඔහු බලයට පත්වීමද ඊට පෙර සිටි අගමැති ටෝනි ඇබොට් වෙතද පක්ෂය තුළින්ම එල්ල වූ බලපෑම් සහ ඡන්දයෙන් ඔහු පරාජයට පත්වීම සැලකිල්ලට ගැනීම වටිනා බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.