ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්ෂුද්‍ර උල්කාෂ්මයක් ගැටීම හේතුවෙන් ඇති වූ කුඩා සිදුරක් නිසා වායු කාන්දුවක් සිදුව තිබූ බව ඇමෙරිකාවේ හියුස්ටන් සහ රුසියාවේ මොස්කව් මෙහෙයුම් පාලකයෝ පවසති.
පෘථිවියේ සිට කි.මී.400ක් ඉහළ අභ්‍යවකාශයේ රඳවා ඇති මෙම මධ්‍යස්ථානය වෙත කාර්ය මණ්ඩලය රැගෙන යාම සඳහා පසුගිය ජුනි මාසයේදී ගමන් කළ රුසියානු සෝයුස් යානයේ කැප්සූලයෙන් මෙම සිදුර හමුවී ඇත.
කෙසේ වෙතත්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි සාමාජිකයන් 6 දෙනාගෙන් කිසිවෙකුටත් මින් හානියක් නොමැති බවද මෙහෙයුම් පාලකයෝ පවසා තිබේ.
අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වූ වායු පීඩන සංවේදක මගින් මේ පිළිබඳ ගගනගාමීන් දැනුවත් කර තිබුණු අතර, ඒ අවස්ථාවේදී ඔවුන් නින්දේ පසුවී ඇති බවද සඳහන් විය.
මෙවැනි ක්ෂුද්‍ර උල්කාෂ්මයන්ගෙන් ආරක්ෂිත වීමට අවශ්‍ය ශක්තිය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලබාදී තිබුණත්, ලක්ෂ ගණනින් පවතින එවැනි උල්කාෂ්මවල තර්ජනය නිරන්තරයෙන් ඊට පවතින බව විද්‍යාඥයෝ පවසති.
කෙසේ වෙතත්, මෙම සිදුර වහාම වසා දැමීමට ගගනගාමීන් පියවර ගෙන තිබූ අතර, මීට වඩා සවිමත් අලුත්වැඩියාවක් අවශ්‍යද යන්න සම්බන්ධයෙන් පෘථිවියේ සිටින ඉංජිනේරුවන් සමග එක්ව අධ්‍යයනයක යෙදී සිටින බවද ඔවුහු පවසා තිබේ.
මෙම වසර අගදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් පිරිසක් යළි පෘථිවියට පැමිණීමටද මෙම සෝයූස් යානමය උපයෝගි කරගැනීමට නියමිතව ඇති බවද සඳහන් වෙයි.