මෝටර් රථයට ගිනි තබා උමතුවෙන් මරා දැමුණු කාන්තාවක සහ ඇගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.
හිටපු රග්බි ක්‍රීඩක රෝවන් බැක්ස්ටර් සිය සිරුරට පිහි පහර එල්ල කර සිය දිවි නසා ගැනීමට පෙර බ්‍රිස්බේන් නුවරදී අදාළ මෝටර් රථයට ගිනි තැබූ බවට සඳහන් වාර්තා තහවුරු කර ගැනීමට පොලීසිය ක්‍රියා කරමින් සිටියි.
කෙසේවෙතත් මෙම සිද්ධිය පිටුපස ගෘහස්ත හිංසනය පිළිබඳ ඉතිහාසයක් ඇති බව ඔවුන් සනාථ කර ඇති අතර, ඝාතනයට ලක් වූවන් වන්නේ 31 හැවිරිදි හැනා බැක්ස්ටර් සහ ඇගේ දරුවන් තිදෙනාය.
මෙම සිද්ධියත් සමග ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් එරට තුළ දැඩි කතාබහක් හා විරෝධතා මතු වී තිබේ.
"නගරයට තදාසන්න වීදියක සිදු වූ මේ සිද්ධිය නිසා රට පුරා සිටින ඔස්ට්‍රේලියානුවන් කම්පනයටත්, කනගාටුවටත් පත්ව සිටිනවා" යැයි අගමැති මොරිසන් වාර්තාකරුවන්ට පැවසීය.
"අනුකම්පා විරහිතව සහ උමතුවෙන් සිදුකළ දරුණු අපරාධයකින් හැනා සහ ඇගේ දරුවන් තිදෙනා ඝාතනය කර තිබෙනවා" ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් මෙම ඝාතන සිදුකළ රෝවන් බැක්ස්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් නොමැති බව ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පවසයි.
"වර්තමානයේදී පවුල් සංස්ථා තුළ දකින්න ලැබෙන දැඩි කෝපය සහ ගෘහස්ත හිංසනය පුද්ගලයන් පස් දෙනෙකුගේ මරණයට හේතු වී තිබෙනවා" පොලිස් නිලධාරී මාර්ක් තොම්සන් පැවසීය.
ඔවුන්ගේ දරුවන් වන හය හැවිරිදි ලියානා, සිව් හැවිරිදි ආලියා, තුන් හැවිදිරි ට්‍රේ මෙසේ මෝටර් රථය තුළ මියගොස් සිටි අතර, මව හැනා බැක්ස්ටර් ඒ අසල බිම ගින්නෙන් දැවෙමින් සිට ඇත. දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඇය රෝහල්ගත කළ පසු මියගිය බව පොලීසිය වැඩිදුරටත් සනාථ කරයි.
"ඔහු මට පෙට්‍රල් වත් කළා.. මගේ දරුවන් බේරා ගන්න" යැයි මේ තැනැත්තිය බේරාගැනීමට පැමිණි අයට ඇය කෑමොර දී ඇති බවද සඳහන් වෙයි.
එහිදී සහායට පැමිණි පුද්ගලයන් වළක්වා ලූ 42 හැවිරිදි රෝවන් බැක්ස්ටර්, මෝටර් රථය තුළින් පිටතට ගත් පිහියකින් සිය සිරුරට ඇන සිය දිවි හානි කර ගත් බව ඔවුහු පැවසූහ. හදිසි සේවා අංශවලට ඔහුගේ දිවි ගලවාගත නොහැකි විය.
සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථය පදවමින් සිට ඇත්තේ හැනා බැක්ස්ටර් බව පොලිසිය පවසයි.