අමෙරිකාවේ නිව්යෝක් නුවර උපන්දින සාදයක් වෙත තරුණ කැලක් රැගෙන ගිය ලිමොසින් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 20දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය අය අතර ලිමොසින් රථයේ ගමන් කළ පුද්ගලයන් 18 දෙනාමත්, මාර්ගයේ ගමන් කළ තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් සිටින බව පොලීසිය කියයි.
SUV මාදිලියේ ලිමොසින් රථය අධික වේගයෙන් ඇදී යන ආකාරය දුටු බවත්, එක් වරම මංසන්ධියකදී ලිමොසින් රථය වීසිවී ගොස් තවත් මෝටර් රථයක ගැටී අසල වූ වෙළෙඳ සැලක රථ ගාලක් වෙත කඩා වැදුණු බවත් සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොතිබුණත්, එහි ගමන්ගත් පිරිස බීමතින් සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මේ අතර, මියගිය අය අතර එකම පවුලේ සහෝදරියන් සිව්දෙනෙක්, අලුත විවාහපත් ජෝඩු දෙකක් ආදී වශයෙන් තරුණ පිරිසක් සිට ඇති අතර, ඔවුන්ගේ නම් මෙතෙක් අනාවරණය කර නොමැත.
මෙම පිරිස විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට යමින් සිටි බව මුලින් සඳහන් වුවත්, ඔවුන් උපන්දින සාදයකට යෑම සඳහා පිටත්ව ගොස් සිටි බව පසුව අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට දින පහක පමණ කාලයක් ගතවනු ඇති බව බලධාරීහු පවසති.