උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව නිවේදනය කරයි.
එරට නැගෙනහිර හෝඩෝ අර්ධද්වීපයේ සිට සාගරයට පතිත වන ලෙස මෙම මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති බවද දකුණු කොරියාවේ ඒකාබද්ධ හමුදා ප්රධානියා පවසයි.
2017 වසරේදී අවසන් වරට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බැලීමෙන් අනතුරුව සිදුකරන ප්රථම මිසයිල අත්හදා බැලීම මෙය බවද දකුණු කොරියාව කියයි.
පසුගිය මාසයේදීද උතුරු කොරියාව යම් අවියක් අත්හදා බැලූ අතර, එය ඔවුන් හඳුන්වා තිබුණේ උපායමාර්ගික නියමු අවියක් ලෙසිනි.
පසුගියදා කිසිදු එකඟත්වයකින් තොරව වියට්නාමයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පැවති හමුව බිඳ වැටීමෙන් පසුව මෙම බර අවි හා මිසයිල අත්හදා බැලීම් යළිත් උතුරු කොරියාව අරඹා ඇත.
කෙසේ වෙතත්, මේ ආකාරයේ කෙටි දුර මිසයිලයක් අත්හදා බැලීම් ඔවුන් මෙම සාකච්ඡාවලදී පොරොන්දු වූ දිගුදුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීමෙන් වලකින පොරොන්දුව කඩ කිරීමක් නොවන බවද විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.