නැගෙනහිර ඉන්දියාවට බලපෑ ප්‍රබල සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිවාස රැසක් සුන්බුන් බවට පත්ව තිබේ.
ටිට්ලි සුළි කුණාටුව ඔරිස්සා සහ අන්ද්‍රා ප්‍රදේශ් යන ප්‍රාන්ත හරහා ඉන්දියාවට ඇතුළු වී ඇති අතර, එහි පැයට කිලෝමීටර් 150 ඉක්මවන සුළං වාර්තා වූ බව කාලගුණ අංශ පවසයි.
විශේෂයෙන්ම ඔරිස්සා හි පහත්බිම් ආශ්‍රිතව ජීවත්වන ලක්ෂ 3කට ආසන්න ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
එමෙන්ම, ගස් කඩා වැටීම්, කඳු නායයෑම් ආදී හේතු නිසා මාර්ග රැසක් අවහිර වී තිබූ අතර, විදුලිබලයද බොහෝ ප්‍රදේශ වෙත ඇණහිට තිබුණි.
මියගිය පුද්ගලයන් 8දෙනා අන්ද්‍රා ප්‍රදේශ් හි වාසය කරන්නන් වූ අතර, එම ප්‍රාන්තය තුළ උග්‍ර පානීය ජල හිඟයක්ද ඇතිවී තිබේ.
ප්‍රාන්ත දෙකෙහිම පාසල් සහ රජයේ ඇතැම් කාර්යාල වසා දමා ඇති අතර, සහන සේවා ආරම්භ කර ඇති බවද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.