කොවිඩ්-19 වසංගතයේ දෙවැනි ආසාදන රැල්ලෙන් දැඩිව බැටකමින් සිටින ඉන්දියාවට, වසංගතයේ තුන්වැනි රැල්ල නොවැළැක්විය හැකි වනු ඇති බව ඉන්දීය රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක අනතුරු අඟවයි.
"ඉහළ මට්ටමේ සංසරණය වන වෛරසය සැලකිල්ලට ගෙන තුන්වැනි රැල්ල නොවැළැක්විය හැකි නමුත්, මෙම තුන්වැනි රැල්ල කුමන කාල පරිච්ඡේදයක් තුළ සිදුවනු ඇත්ද යන්න පැහැදිලි නැහැ" යනුවෙන් කේ. විජයරාගවන් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනය සහිත රට අඛණ්ඩව අඩපණ කළ දෙවැනි ආසාදන රැල්ලක් පුරෝකථනය කර තිබුණත්, මේ වනවිට දක්නට ලැබෙන ආකාරයේ රුදුරු බව සමග මෙතරම් විශාල දෙවැනි රැල්ලක් පුරෝකථනය නොකළ බවද හෙතෙම කීවේය.
කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ්-19 ප්‍රභේදයට එරෙහිව එන්නත් ඵලදායී බව ප්‍රධාන විද්‍යාත්මක උපදේශකවරයා පැවසීය.
මුඛ ආවරණ භාවිතය වැනි කොවිඩ්-19 ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
"මේ නව ප්‍රභේද සම්ප්‍රේෂණය වන්නේ මුල් වෛරසයට සමානවයි. එය නව ආකාරයේ සම්ප්‍රේෂණය වීමක් හෝ වෙනස් ගුණාංග හෝ ඒ හා සමාන කිසිදු තත්ත්වයක් පෙන්වා නැහැ. නමුත් එය මිනිසුන්ට යම් වැඩි ආසාදනයක් සිදුකරන අතර එමගින් එය වඩාත් සම්ප්‍රේෂණය වෙමිනි තිබෙනවා" හෙතෙම වැඩිදුරටත් පැවසීය.