ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම් ඇරඹී ඇති අතර, මෙවර මැතිවරණයෙන් වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි යළි බලයට පත්වනු ඇති බවට මේ වනවිටත් මත පළවෙමින් පවතී.
මසකට වැඩි කාලයක් අදියර කිහිපයක් යටතේ පැවති මැතිවරණයේ මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය සහ රාහුල් නියෝජනය කරන ඉන්දීය කොංග්‍රසය ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂ දෙක ලෙස තරග බිමේ සිටින ලදී.
2014 වසරේ අවසන් වරට පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් දැවැන්ත ජයග්‍රහණයක් සමග ඉන්දීය අගමැති ධුරයට පත්වූ අතර, ඔහුගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් යම් යම් මත පළ කෙරුණද සමස්ත ඉන්දීය ජනතාව තවමත් මෝදි සමග සිටින බව සඳහන් වේ.
පූර්ව මැතිවරණ ප්රතිඵලවලින්ද මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අනාවැකි පළ කෙරුණත්, මෙම පූර්ව මැතිවරණ ප්‍රතිඵල අතීතයේදී වැරදී ගොස් ඇති බව කොංග්‍රසය පෙන්වා දෙයි. එබැවින් ඔවුන් එය ප්‍රතික්ෂේප කරයි.
සති හයක් පුරා අදියර හතක් යටතේ පැවති මහ මැතිවරණයේ අවසන් අදියර පසුගිය ඉරිදා දිනයේ පැවති අතර, ඉන්දීය වේලාවෙන් අද (23දා) පෙ.ව. 8.00ට ඡන්දය ගණන් කිරීම ආරම්භ විය.
මෙවර ඉන්දීය මහ මැතිවරණය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් වූ ජනමත විචාරණයක් ලෙසද ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාව වෙනුවෙන් වූ ආසන 543න් ආසන 272ක බලය රැකගන්නා පක්ෂයට හෝ සන්ධානයට බලය හිමිවනු ඇත.
2014 මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ආසන 282ක බලයක් හිමිකර ගත් අතර, එය වසර 30ක ඉන්දීය ඉතිහාසයේ දැවැන්ත ජයග්‍රහණයක් වන අතර, කොංග්‍රසයට හිමිකර ගැනීමට හැකි වූයේ ආසන 44ක් පමණි.
මෙවර ඡන්දය සඳහා මිලියන 900ක ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර, එය ලෝකයේ දැවැන්තම මහ මැතිවරණයක් වූයේ ඒ අනුවය.
අවසන් මැතිවරණ ප්‍රතිඵලය අද රාත්‍රියේ හෝ හෙට උදෑසන නිකුත් වීමට නියමිත බව ඉන්දීය මැතිවරණ බලධාරීන් පවසයි.