ඉන්දුනීසියාවේ සුලවෙසි දූපත ප්‍රධාන කරගනිමින් පසුගිය සිකුරාදා (සැප්. 28) සිදුවූ භූ කම්පනයෙන් සහ සුනාමි අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 1,400 ඉක්මවා ඇති බව ඉන්දුනීසියාවේ ආපදා ප්‍රතිචාර ආයතනය පවසයි.
මෙම මහා ස්වභාවික ව්‍යසනයෙන් පසුගිය අඟහරුවාදා (ඔක්. 02) දිනට පෙර මිය ගිය සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ, 844 කි.
මෙම අනතුරින් විනාශ වූ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශ වෙත ඇතුළු වීමට නොහැකිව අති බවද සඳහන් වන අතර, ආපදාවට පත්වූවන්ට නිසි අයුරින් ආධාර පවා නොලැබී ඇති බවටද චෝදනා නැගෙයි.
ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ පලු ප්‍රදේශය ආසන්නයේ හටගත් රික්ටර් පරිමාණ 7.5ක භූමිකම්පාවත් සමග ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වූයේ මීටර් 6ක් උසට උදම් රළ නංවමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයද අනතුරු අඟවා සිටියේ මෙම විපතින් විනාශයට පත්වූ තවත් ප්‍රදේශ රැසකට තවමත් ළඟාවී නොමැති නිසා මෙහි සිදුවූ ජීවිත හා දේපොළ හානි මීට වඩා වැඩිවිය හැකි බවය.
ඒ අනුව, සුන්බුන් අතර සිරවූ, බේරාගැනීමට හැකි පුද්ගලයන් තවදුරටත් සිටිය හැකි බවද ආපදා ප්‍රතිචාර ආයතනය වැඩිදුරටත් පවසයි.