ඉන්දුනීසියාවේ ජනපති ජෝකෝ විඩෝඩෝ නැවත තේරීපත් වීමට එරෙහිව උද්ඝෝෂකයන් වීදි බැසීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, මේ දක්වා පැවති විරෝධතා හේතුවෙන් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම මරණවලට හේතුව සොයා බලන බවත්, ඊට හේතුව පොලීසිය යැයි උපකල්පනය නොකළ යුතු බවත් පොලිස් ප්‍රධානියා පවසයි.
මේ අතර, පැතිර යන කටකතා වැළැක්වීම සඳහා ඇතැම් ප්‍රදේශවල සමාජ මාධ්‍ය අවහිර කර ඇති බවද දැන ගන්නට ලැබේ.
මෙම උද්ඝෝෂණයේ යෙදුණු බහුතරය පිට පළාත්වල සිට ජකාර්තා නුවරට පැමිණි පිරිස් වන අතර, ඔවුන් මනා සැලසුමකින් උද්ඝෝෂණය සැලසුම් කර ඇති බව පොලීසිය කියයි.
විශේෂයෙන්ම දැඩිමතධාරී ඉස්ලාමීය ප්‍රජාව මෙම උද්ඝෝෂණ මෙහෙයවා ඇති අතර, ඔවුන් මුල සිටම මැද මාවතේ යන වත්මන් ජනපති විඩෝඩෝට එරෙහිව නැගී සිටි පිරිසකි.
මුලින් සාමකාමී ලෙස ආරම්භ වූ මෙම උද්ඝෝෂණය පසුව රථ වාහන ගිනිබත් කරමින් මහා විනාශයක් දක්වා ඇද දැමූ බව පොලීසිය කියයි.
මෙවර ජනපතිවරණයෙන් 55.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් විඩොඩෝ මැතිවරණය ජයගත් බව පසුගිය අඟහරුවාදා එරට මැතිවරණ කොමිසම තහවුරු කළේය.
කෙසේ වෙතත්, ප්‍රතිවාදී අපේක්ෂක සුබියන්ටෝ මෙම ප්‍රතිඵල පිළිගත නොහැකි බව පැවසීමත් සමග මෙම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක වී තිබේ.