ඇෆ්ගනිස්තානයේ මාස 5කට පමණ පෙර පැවති මතභේදාත්මක ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස වත්මන් ජනපති අෂ්රෆ් ඝානි යළිත් වරක් තේරීපත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම මැතිවරණ ප්‍රතිඵලය තලේබාන් සටන්කාමීන් සමග වූ සාම සාකච්ඡා යළි කැලඹීමකට පත්වනු ඇති බවටද විචාරක මතයයි.
2001 දී එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ හමුදා තලේබාන් රජය පෙරලා දැමීමෙන් පසුව, සිව්වන වරටත් ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම් පවත්වන ලද නමුත් එම සමස්ත මැතිවරණ ක්‍රියාවලියම අවුල් සහගත, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන ජෛවමිතික උපකරණවල තාක්ෂණික ගැටළු, ප්‍රහාර සහ වෙනත් අක්‍රමිකතා පැවති බවට සඳහන් විය.
මෙම මැතිවරණයට සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 9.4ක් සිටියත් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ මිලියන 1.9ක් පමණි.
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරදී ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී එරට ස්වාධීන මැතිවරණ කොමිසමේ (අයිඊසී) සභාපති හවා අලාම් නුරිස්තානි අවසන් ප්‍රතිඵලය නිවේදනය කළාය.
ඒ අනුව ඝානි 50.64%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව ස්වාධීන මැතිවරණ කොමිසම පැවසූ අතර, ප්‍රධාන ප්‍රතිවාදියා වූ අබ්දුල්ලා අබ්දුල්ලා 39.52%ක් ලබා තිබුණි.