ඇමසෝන් සමාගමේ ප්‍රකෝටිපති නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පවසා සිටියේ, තම අභ්‍යවකාශ සමාගම වන බ්ලූ ඔරිජින් විසින් නිපදවන ලද රොකට්ටුවක් වන නිව් ෂෙපර්ඩ් හි පළමු අජටාකාශගාමීන් පිරිස සමග තමාද ලබන මාසයේදී අභ්‍යවකාශයට පියාසර කරන බවයි.
ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජෙෆ් බෙසෝස් සැලසුම් කර සති කිහිපයකට පසුව, එනම් එලැඹෙන ජූලි මස 20දා මෙම අභ්‍යවකාශ ගමනට දින යෙදී තිබේ. මෙම දිනය ඇපලෝ 11 සඳ මත ගොඩබෑමේ 52 වැනි සංවත්සරයද සනිටුහන් කරයි.
ඔහුගේ බාල සොහොයුරා වන මාර්ක් බෙසෝස්ද ඔහු සමග මෙම අභ්‍යවකාශ ගමනට එක්වන බව ද බෙසෝස් පැවසීය.
"මගේ වයස අවුරුදු පහේ සිටම මම අභ්‍යවකාශයට යාමට සිහින මැව්වා" බෙසෝස් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලියා තිබේ. "ජූලි 20 වැනිදා මගේ ලොකුම වික්‍රමය, මම මගේ සහෝදරයා සමග, මගේ හොඳම මිතුරා සමග යනවා."
"පෘථිවිය අභ්‍යවකාශයේ සිට බැලීම ඔබව වෙනස් කරාවි. එය මෙම ග්‍රහලෝකය සමග සහ මනුෂ්‍යත්වය සමග ඔබේ සම්බන්ධතාව වෙනස් කරාවි" බෙසෝස් ඉන්ස්ටග්‍රෑම් හි වීඩියෝවකින් පැවසීය. "එය වික්‍රමයක්. එය මට විශාල ගනුදෙනුවක්."
මාර්ක් බෙසෝස් පැවසුවේ අභ්‍යවකාශ යානයේ ගමනට සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටි විට ඔහු පුදුමයට පත්වූ බවයි. "මෙය මොනතරම් විශිෂ්ට අවස්ථාවක්ද? ත්‍රාසජනක සිදුවීමක් පමණක් නොවෙයි, මගේ හොඳම මිතුරා (සහෝදරයා) සමග ඒ ගමන යෑමට ලැබීමම භාග්‍යයක්" ඔහු පැවසීය.