ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ කලාපයට බලපෑ ෆ්ලොරන්ස් සුළි කුණාටුවේ ප්රබලත්වය සහ ඉන් ඇති වූ දැඩි වර්ෂාපතනයේ අභියෝගවලට එම ජනතාව මුහුණදෙමින් සිටිති.
මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මිනිස් ජීවිත 12ක් වත් අහිමි වන්නට ඇති බව විශ්වාස කෙරෙන අතර, වර්ෂාව තවදුරටත් අඛණ්ඩව ලැබෙමින් පවතී.
බොහෝ නගරවල තවමත් අඩි දෙක ඉක්මවූ ජලය රැඳී ඇති අතර, සමස්තයත් ලෙස අඩි 3.5ක පමණ ජල ප්රමණයක් දක්වා මෙම තත්ත්වයන් ඉහළ යනු ඇති බවද විශ්වාස කෙරෙයි.
උතුරු කැරොලීන් ප්රාන්තයේ ආණ්ඩුකාර රෝයි කූපර් පවසා සිටියේ ඇතැම් පළාත්වලට අඟල්වලින් නොව අඩිවලින් පැවසීමට තරම් වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
මේ අතර, කුණාටුවෙන් බේරීම සඳහා ඉවත්වූ ජනතාවට තවම තම නිවෙස්වලට පැමිණීමට උත්සාහ නොකරන ලෙසද ආණ්ඩුකාරවරයා අවවාද කරන්නේ සියලුම මංමාවත් පාහේ ගංවතුරින් වැසී යාමට හැකි බැවිනි.
උතුරු කැරොලීනාවේ පළාත් අටක ආපදා තත්ත්වයක් ප්රකාශයට පත්කිරීමට ජනපති ඩොනල්ඩ් ට්රම්ප් කටයුතු කර ඇති අතර, මේ තත්ත්වය තුළ ෆෙඩරල් අරමුදල් ලබාගනිමින් ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට අවස්ථාව සැලසෙයි.
මේ අතර, ජනපති ට්රම්ප් එලැඹෙන සතියේදී මෙම ප්රදේශයේ සංචාරයක නිරතවෙමින් මේ තත්ත්වයන් සොයාබැලීමට නියමිත බවද ධවල මන්දිරය පවසයි.