ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සම්බාධක එල්ල වන බවට නැගෙන තර්ජන හමුවේ රුසියාවෙන් මිසයිල මිලදී ගැනීම සඳහා වූ ගිවිසුමකට ඉන්දියාව එලඹ ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, රුසියාවේ නිෂ්පාදිත අති නවීන S-400 මිසයිල පද්ධතිය ඉන්දියාවට අලෙවි කිරීම සඳහා මෙම ගිවිසුම ප්‍රකාරව රුසියාව කටයුතු කරනු ඇත.
රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් ඉන්දියාවේ පසුගියදා සිදුකළ සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග ඇ.ඩො.බිලියන 5ක් වටිනා මෙම ගනුදෙනුවට අදාළ ගිවිසුමට අත්සන් කළ බව රුසියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශක තහවුරු කර තිබේ.
ඉන්දියාව වෙත අවශ්‍ය අවි ආයුද වැඩි වශයෙන්ම සපයන රාජ්‍ය ලෙස රුසියාව කටයුතු කරන අතර, රුසියාවද ලෝකයේ විශාලතම අවි ආයුද සැපයුම්කරුවෙකු බවට මේ වනවිටත් පත්ව සිටී.
නමුත්, රුසියාව සමග සීතල යුද්ධයක පසුවන ඇමෙරිකාව නිරන්තරයෙන් අනතුරු අඟවමින් කියා සිටින්නේ ඔවුන් සමග අවි ආයුද ගනුදෙනුවල යෙදෙන ඕනෑම රාජ්‍යයකට සම්බාධක යෙදීමට පසුබට නොවන බවයි.
විශේෂයෙන්ම, රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කිරීම මෙන්ම, 2016 ඇමෙරිකානු ජනපතිවරණයට මැදිහත්වීම ආදී චෝදනා මෙම අනතුරු ඇඟවීම්වලට හේතු පාදක වි තිබේ.
කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව හුදෙක් ඇමෙරිකාවට පිටුපෑමකට වඩා චීනයට එරෙහිව ඉන්දීය යුද ශක්තිය වැඩිකර ගැනීමේ අභිලාෂයක් බවට ඉන්දීය පාර්ශ්වය කරුණු ඉස්මතු කරන බැවින් මෙය ඉන්දියාව වෙත ඇමෙරිකානු සහාය බලාපොරොත්තු නොවන ගනුදෙනුවක් නොවිය හැකි බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
රුසියානු නායකයාගේ ඉන්දීය සංචාරය අතරතුර, න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති 6ක් සංවර්ධනය කිරීම සඳහාද දෙරට අතර ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.