ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙත ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ඇතුළු වෙමින් පවතින බවත්, එය දශක කිහිපයකින් පසුව එම කලාපයට ඇතුළු වන ප්රබළතම සුළි කුණාටුව විය හැකි බවත් කාලගුණ අංශ අනතුරු අඟවයි.
සවුත් කැරොලීනා ප්‍රාන්තයේ වෙරළාසන්නයේ ජීවත්වන සියලු ජනතාව ඉවත් කිරීමට ආණ්ඩුකාරවරයා අණකර ඇති අතර, නෝර්ත් කැරොලීනා සහ වර්ජීනියා යන ප්රාන්තයන්ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
කාලගුණ අංශ පවසන්නේ ෆ්ලෝරන්ස් සුළි කුණාටුව මේ වනවිට සිව්වැනි අදියරේ සුළි කුණාටුවක් ලෙස පැයට කිලෝමීටර් 195ක පමණ වේගවත් සුළං සමග තවදුරටත් ශක්තිමත් වෙමින් ගොඩබිම කරා පැමිණෙමින් ඇති බවයි.
එලඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී මෙම සුළි කුණාටුව කැරොලීනා ප්‍රාන්තයෙන් ගොඩබිම කරා ඇතුළු වෙනු ඇති බව කියැවෙයි.
ඊයේ දිනයේදී නෝත් කැරොලීනා හි කේප් ෆියර් වෙරළ තීරයේ සිට කිලෝමීටර් 2,000ක් පමණ දුරින් සාගරයේදී දෙවැනි අදියරේ සුළි කුණාටුවක් ලෙස ෆ්ලෝර්න්ස් පැවති බවද කාලගුණ අංශ කියයි.
අත්ලාන්තික් සාගරයේ පවතින උණුසුම් ජල දහරා සමග මෙම සුළි කුණාටුව පස්වැනි අධියරේ අති ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ අවදානම වැඩි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වර්ෂ 1989 දී නෝත් කැරොලීනා ප්‍රාන්තය වෙත බලපෑ සිව්වැනි අදියරේ හියුගෝ සුළි කණාටුවෙන් පසුව මෙම කලාපය වෙත පැමිණෙන එම අදියරේම හෝ ඊටත් ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ෆ්ලෝරන්ස් සැලකෙයි.
එදා හියුගෝ සුළි කුණාටුව නිසා ඇ.ඩො.බිලියන 7ක විනාශයක් මෙන්ම, මිනිස් ජීවිත 49ක්ද අහිමි විය.