දේශපාලන පක්ෂවලින් තරග වදින අපරාධ වාර්තා සහිත අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කරමින් සහ එවැනි අපේක්ෂකයන් තෝරා ගැනීම සාධාරණීකරණය කිරීමට හේතු ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින්ද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
අපරාධවලට සම්බන්ධ අපේක්ෂකයන් විශාල ලෙස වැඩිවීම හේතුවෙන් මේ ගැන කඩිනම් විසඳුමක් ලබාදිය යුතුව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.
ඒ අනුව අදාළ අපේක්ෂකයන්ගේ තොරතුරු එම පක්ෂවලට අයත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල හෙළි කිරීමට පැය 48ක කාලයක් ලබා දී ඇත.
2019 දී අලුතින් තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගෙන් 43%කට අපරාධ වාර්තා ඇති අතර, එය 2014 දී 34%ක් විය. ඉන්දියාවේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සංගමය (ADR) විසින් මෙම දත්ත එළිදක්වනු ලැබ තිබේ.
2004 දී අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් 24%ක් සහ 2009 දී 30%ට අපරාධ වාර්තා තිබී ඇති අතර, මේ වනවිට එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව දත්ත අනුව පෙනී යයි.
සමහර මන්ත්‍රීවරුන්ට එරෙහිව ඇත්තේ සුළු චෝදනා හෝ දේශපාලනික පෙළඹීම් මත සිදු වූ අපරාධය. නමුත්, සොරකම් කිරීම්, රාජ්‍ය නිලධාරීන්ට පහරදීම්, මිනීමැරීම් මෙන්ම, ස්ත්‍රී දූෂණය වැනි බරපතල චෝදනා ලද බොහෝ දෙනෙක් සිටින බවද එම දත්ත පරිශීලනයේදී පැහැදිලි වෙයි.
ඒ අනුව චෝදනා නොමැති අපේක්ෂකයන් මහජන නියෝජිතයන් ලෙස ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට නොහැකි වන්නේ මන්දැයි ප්‍රශ්න කරන අධිකරණය, ජයග්‍රහණය වෙනුවෙන් යැයි පවසා චෝදනා ලද අපේක්ෂයන් මැතිවරණයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් සාධාරණීකරණය කිරීමක් නොවන බව අවධාරණය කළේය.
අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස පක්ෂවලට දන්වා ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකනු ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.