එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයට ආසන්න මුහුදේදී පසුගිය ඉරිදා අනතුරට පත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඉතිරිව සිටින නැවියන් සිව්දෙනෙකු සමග සබඳතා පැවැත්වීමට එරට වෙරළාරක්ෂක බලකාය කටයුතු කර තිබේ.
ඒ අනුව, ඔවුන් සියලු දෙනා ජීවතුන් අතර සිටින බව මේ වනවිට තහවුරු වී ඇති අතර, ඔවුන් මුදාගැනීමේ කණ්ඩායම් ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමක් සැලසුම් කරන අතරතුර ඔවුන්ට අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා නැව් බඳෙහි සිදුරක් හාරනු ඇති බව කියැවෙයි.
බ්‍රන්ස්වික් වරායෙන් පිටත් වීමෙන් පසු ඉරිදා අලුයම මෝටර් රථ ප්‍රවාහන නෞකාවක් වන ගෝල්ඩන් රේ මෙසේ දියඹෙහි පෙරළී ගිය අතර, ඒ අවස්ථාවේදී මෝටර් රථ 4,000ක් පමණ නෞකාවේ විය.
එහිදී නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අඩාල වීමට පෙර එහි සිටි නැවියන් 20 දෙනෙකු ගලවා ගැනීමට වෙරළාරක්ෂක භටයන්ට හැකිවිය.
මේ අතර, දැනට නෞකාව තුළ සිරවී සිටින සියල්ලන්ම දකුණු කොරියානු ජාතිකයන් බව එරට විදේශ අමාත්‍යංශය පවසයි.
ගලවා ගත් පිරිස මේ වනවිටත් ගෝල්ඩන් රේ නෞකාවේ සිටින එම කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර, ඔවුන් මුදාගැනීම සැලසුම් කරමින් සිටින බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසයි.