මධ්‍යධරණී මුහුදේදී අනතුරට පත් ඊජිප්තු ගුවන් සේවයට අයත් එයාර්බස් A320 යානයේ සුන්බුන් අතර තිබියදී හමුවූ කළු පෙට්ටි යථා තත්ත්වයට පත්කර ඇති බව ඊජිප්තු බලධාරීහු පවසති.
MS804 දරණ මෙම යානය පසුගිය මැයි මාසයේ 19 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර සිට ඊජිප්තුවේ කයිරෝ දක්වා පියාසර කරමින් තිබියදී පුද්ගලයන් 66 දෙනෙකු සමග මධ්‍යධරණී මුහුදට කඩා වැටී අනතුරට ලක්වූ අතර, එහි ගමන් කළ සියලු දෙනාම එම අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
පසුව යානයේ කළු පෙට්ටිය සොයා සාගරයේ සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමකදී සාගර පතුලේ වූ යානයෙන් සුන්බුන් අතර තිබී එහි නියමු කුටියේ කළුපෙට්ටිය මෙන්ම, ප්‍රධාන කළු පෙට්ටියද හමුවිය.
යානයේ ඉතා වැදගත් දත්ත අඩංගු වී ඇති මෙම කළු පෙට්ටි සොයාගන්නා විට අනතුර හේතුවෙන් මෙන්ම, ලවණ ජලයෙහි තිබීම හේතුවෙන් ඊට තරමක් හානි සිදුවූ නිසා ඒවා යථාතත්ත්වයට පත්කිරීම සඳහා ප්‍රංශය වෙත යවනු ලැබිණි.
ඒ අනුව, මෙම කළු පෙට්ටි යථාතත්ත්වයට පත්කිරීමට විශේෂඥ කණ්ඩායම්වලට හැකි වූ බව නිවේදනයක් නිකුත්කරමින් ඊජිප්තු විශේෂ පරීක්ෂණ කොමිසම පවසා සිටියේය. එමෙන්ම, එකී කළු පෙට්ටි යළි ඊජිප්තුව වෙත එවා ඇති බවත්, ඒවායෙහි අඩංගු හඬ හා දත්ත විශේෂ නිරීක්ෂණයකට ලක්කරමින් යානය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීද, නැත්නම් කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වීද යන්න පිළිබඳව පරීක්ෂණ මෙහෙයවෙන බවත් එම කොමිසම වැඩිදුරටත් පවසා තිබුණි.