චීනයේ ග්රේට් වෝල් මෝටර් රථ නිෂ්පාදන සමාගම JEEP රථද ඇතුළත් ඉතාලි-ඇමෙරිකානු සමාගමක් වන ෆියැට් ක්රයිස්ලර් සමාගම මිලදී ගැනීමට ඇස ගසාගෙන සිටින බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.
ලෝකයේ හත් වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන ෆියැට් ක්රයිස්ලර් සමාගමේ සම්පූර්ණ අයිතිය හෝ කොටස් ප්රමාණයක් තමන් සතුකර ගැනීම සඳහා තම සමාගමට බලාපොරොත්තුවක් පවතින බව ග්රේට් වෝල් බලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
චීනයේ විශාලතම SUV රථ නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන ග්රේට් වෝල් සමාගමෙන් එවැනි යෝජනාවක් තම සමාගම වෙත නොලැබුණු බව ෆියැට් ක්රයිස්ලර් සමාගම පවසයි.
මීට පෙර වාර්තා වී තිබුණේ, JEEP සන්නාමය තමන් සතුකර ගැනීම සඳහා චීන නියෝජිතයන් ෆියැට් කළමනාකාරීත්වය සමග සාකච්ඡා කිරීමට ඉල්ලීමක් කර තිබූ බවයි.
JEEP පසුගිය වසරේදී සිය 75 වැනි උපන්දිනය සැමරූ අතර, එම සන්නාමය ෆියැට් ක්රයිස්ලර් සතු වටිනාම වත්කමක් බව සඳහන් වේ.
ඇමෙරිකානු හමුදාව විසින් JEEP රථ යුද සමයේදී සුලභව භාවිත කිරීම නිසා මෙම සන්නාමයේ කීර්තිය දෙවැනි ලෝක යුද සමය දක්වා ඇදී යයි.