G20 රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වෙයි
තිරසාර සංවර්ධනය ඇතුළත් වැඩපිළිවෙලක් කෙරෙහි මෙවර G20 සමුළුවේදී අවධානය යොමු කරන බවත්, ලෝක දේශගුණික විපර්යාස පාලනය කරගැනීම පිළිබඳ මාතෘකාව ඇතුළු තවත් කරුණු රැසක් එම න්‍යාය පත්‍රයට ඇතුළත් බවත් ජර්මානු චාන්සලර් අන්ජෙලා මර්කෙල් අවධාරණය කරයි.
දියුණු කාර්මික රටවල නායකයන් සහභාගී වන G20 සමුළුව ජර්මනියේ, හැම්බර්ග් නගරයේදී අද (07දා) ආරම්භ වෙයි. මෙවර සමුළුව ආරම්භ වන මෙම සතිය මුලදී G20 රාජ්‍ය නායකයන්ගේ ඇස් ඇරවන විරෝධතා රැළි කිහිපයක්ම සංවිධානය වී තිබූ අතර, ලෝක වෙළෙඳ රටාවේ වෙනසක් සිදුකිරීම, දුප්පත්කම පිටුදැකීම, දේශගුණික විපර්යාස පාලනය කිරීම මෙම විරෝධතාවන්හි ප්‍රධාන මාතෘකා විය.
Welcome to Hell යනුවෙන් පැවති විරෝධතා ව්‍යාපාරවලදී උද්ඝෝෂකයන් සහ ජර්මානු පොලිසිය අතර ඇති වූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 76 දෙනකු තුවාල ලද බව වාර්තා විණි.
අද (07දා) තවත් විරෝධතා ව්‍යාපාර දියත් කරනු ලැබීමට ඇති ඉඩකඩ හමුවේ දැඩි ආරක්ෂක විධි විධාන යොදා ඇතිබව හැම්බර්ග් නගරයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.
මෙවර G20 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මුහුණට මුහුණ හමුවීමද විශේෂත්වයකි. එමෙන්ම, භූතානයේ දේශසීමා අර්බුදයත් සමග හිතහොඳ පළුදු වී ඇති චීන ජනපති ෂී ජිංපිං සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා නොපැවැත්වෙනු ඇති බවට චීන මාධ්‍ය ඊයේ (06දා) වාර්තා කර තිබීමද තවත් විශේෂත්වයක් විය.
කෙසේ වෙතත්, ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රාජ්‍යයන් 20ක නායකයන් එකට එකතු වන දින දෙකක සමුළුව තුළ ඇමෙරිකාව තවදුරටත් ගෝලීය නායකයාද යන පැනය කරළියට පැමිණෙනු ඇති වුවත්, තවමත් චීනය, රුසියාව හෝ ජර්මනිය ඒ තත්ත්වයට සූදානම් නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

