ෆිලේ (Philae) රොබෝ යානය වල්ගා තරුව මතට සාර්ථකව සේන්දු වෙමින්, වැඩිදුර තොරතුරු යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින බව විද්‍යාඥයෝ පවසති.
දැනට ඔවුන් වෙත ලැබී ඇති තොරතුරු අනුව ෆිලේ යානය සුරක්ෂිත තත්ත්වයක මේ වනවිට පවතින බවද විද්‍යාඥයෝ පවසති.
යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් වල්ගා තරුව කරා යැවූ රොසෙට්ටා අභ්‍යවාකාශ යානයට සිය ඉලක්කය කරා ළඟා වීමට වසර දහයකට අධික කාලයක් ගත විය.
රොසෙට්ටා යානයට අනුබද්ධ කොට යැවූ ෆිලේ රොබෝ යානය මවු යානයෙන් වෙන් කරනු ලැබීමෙන් අනතුරුව එය සාර්ථකව වල්ගා තරුව මත තැන්පත් වුවත්, මුලදී එහි සාර්ථකත්වය පිළිබඳ කුකුසක් පැවතියේය.
යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද අලුත්ම නිවේදන මගින් පැවසෙන්නේ, සිය යානයේ තත්ත්වය තහවුරු කිරීමට උදව් වන ඡායාරූප ලැබෙමින් පවතින බවයි.