2007 වසරේදී ඇමෙරිකාවේ වර්ජින් ටෙක් සරසවියේ සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් පසුව ෆ්ලොරීඩා හි සිදුවූ මහා මනුෂ්‍ය සංහාරය ත්‍රස්ත ප්‍රහාරයක් හා පළිගැනීමක් බවට සැක නැති බව බරැක් ඔබාමා අවධාරණය කරයි.
ඔබාමා මෙසේ පවසා තිබුණේ, ෆ්ලොරීඩා හි රාත්‍රී සමාජශාලාවක සමලිංගිකයන්ගේ සංදර්ශනයක් පැවැත්වෙමින් තිබෙන අතරතුර ඊයේ (12දා) සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය 50 දෙනා සහ තුවාල ලැබූ පිරිස සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් සිදුකළ විශේෂ ප්රකාශයෙනි.
"ඇමෙරිකානුවන් ලෙස මේ අමානුෂික ඝාතනය අප හෙළා දකිනවා. අහිංසක මිනිස් සංහාරය හෙළා දකිනවා."
"තවමත් පරීක්ෂණ ආරම්භ වූවා පමණයි. නමුත්, මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට, පළිගැනීමේ ප්‍රහාරයක් බවට සැකයක් නෑ."
"බියෙන් හෝ එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමෙන් ඵලක් නෑ. ඒ වෙනුවට අප ඇමෙරිකානුවන් ලෙස එක්ව නැගී සිටිය යුතුයි. මේ කනගාටුදායක අවස්ථාවේ අප එක්විය යුතුයි. ඒ ජනතාවගේ දුක බෙදාහදා ගනිමින්, අපේ ජනතාව ආරක්ෂා කිරීමට අප එක්විය යුතුයි."
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එෆ්.බී.අයි. සංවිධානය විසින් සිදුකළත්, මෙය ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක ක්‍රියාවක් බවට තේරුම් ගැනීමට වෙහෙසක් අවශ්‍ය නොවන බවද ඔබාමා පවසා ඇත.
එමෙන්ම, මෙම ප්‍රහාරය හරහා ඇමෙරිකාවේ අවිආයුධ නීතිය පිළිබඳ යළිත් වරක් කතාබහ ඇති වී තිබෙන අතර, නිදහසේ අවි මිලදී ගැනීමට ඇති හැකියාව නිසා මිනිස් ඝාතනයක් වඩාත් පහසුවෙන් සිදුකළ හැකි බවද ඔබාමා මෙහිදී අවධාරණය කර තිබේ.
එහිදී, ඔබාමා අවසන් වශයෙන් පවසා ඇත්තේ අපට තවදුරටත් අවශ්‍ය වන්නේ මෙවැනි රටක් දැයි යන තීරණයට එළැඹීමට කාලය පැමිණ ඇති බවයි.