මේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති හරම්බේ ගෝරිල්ලාගේ මරණයෙන් පසුව, එම ගෝරිල්ලාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ඇරඹී තිබේ.
ඇමෙරිකාවේ, සින්සිනාටි සත්වෝද්‍යානයේ සිටි මෙම ගෝරිල්ලා රඳවා සිටි කූඩුව තුළට අවුරුදු 3ක් වයසැති දරුවෙකු වැටුණු පසුව, එම දරුවාට ගෝරිල්ලාගෙන් අනතුරුක් වනු ඇතැයි සිතා 17 වියැති හරම්බේ මරා දැමීමට සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, මේ වනවිට එම සත්වයාගේ හැසිරීම සාමාන්‍ය හැසිරීමක් බවත්, දරුවාට අනතුරක් කිරීමේ හැසිරීමක් හරම්බේ පෙන්වා නොමැති බවත් විශේෂඥයන් පැවසීමත් සමග එම දරුවාගේ දෙමවුපියන්ට මෙන්ම, සත්වෝද්‍යාන බලධාරීනටද එරෙහිව සමාජජාල ඔස්සේ දැඩි විරෝධතාවක් එල්ල වන්නට විය.
විශේෂයෙන්ම දරුවා ගෝරිල්ලාගේ කූඩුවට වැටෙන තුරු දෙමවුපියන් නොසැලකිලිමත් වූ බවත්, සත්වෝද්‍යාන බලධාරීන් ගෝරිල්ලා නිර්වින්දනය නොකර මරා දැමීමට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් පවසමින් අන්තර්ජාල පෙත්සමක් පවා අත්සන් කරමින් පවතී.
අතිශය දුර්ලභ ගෝරිල්ලෙකු ලෙස සැලකෙන හරම්බේ තමන්ගේ 17 වැනි උපන්දිනය යෙදී තිබූ දිනට පසුදින මෙම අවාසනාවන්ත ඉරණමට ලක්වූ බවද කියැවෙයි.