ඇමෙරිකාවේ, ඩලාස් පොලීසියේ නිලධාරීන් මරා, තම ජීවිතයද හානි කරගත් කළු ජාතික ප්‍රහාරකයෙකු පවසා තිබුණේ, සුදු ජාතික පොලිස් නිලධාරීන් වෙඩි තබා මරා දැමීම තම ඒකායන ඉලක්කය වූ බවයි.
ඇමෙරිකානු පොලිස් නිලධාරීන් විසින් කළු ජාතිකයන් දෙදෙනෙකු වෙඩි තබා මරාදමන ලද සිදුවීම් දෙකක් සමාජජාල තුළ පැතිර යාම මුල්කර ගනිමින් ඇමෙරිකාව පුරා වර්ණභේදවාදී උද්ඝෝෂණ ඇරඹිණි.
ඒ අනුව, ඊයේ රාත්‍රියේ ඩලාස් නුවර පැවති උද්ඝෝෂණයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබුණු අතර, මෙම ප්‍රහාරකයා සියදිවි හානිකර ගැනීමට පෙර වැඩිදුරටත් පවසා තිබුණේ, මෙය කිසිවෙකුගේ බලපෑමකින් තොරව, තම කළු ජාතික වර්ගයා සුදු පොලිස් නිලධාරීන් අතින් මියයාම බලාසිටිය නොහැකිව සිදුකළ ප්‍රහරයක් බවය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් ඩලාස් පොලීසයේ නිලධාරීන් පස් දෙනෙකු සැඟව සිට එල්ල කරන ලද ස්නයිපර් මාදිලියේ ප්‍රහාරයකට ගොදුරු වූ අතර, තවත් නිලධාරීන් හය දෙනෙකු තුවාල ලැබීය. එහිදී, අවසන් ප්‍රහාරකයා පාලනය කරගැනීමට පොලීසිය දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබුණි.
ගොඩනැගිල්ලක් මත සිට ඔහු පොලීසියට පිට පිට ප්‍රහාර එල්ල කළ අතර, ඔහු සමග සාකච්ඡා කර ඔහු මුදාගැනීමට අත්සාහ කළත්, නගරය පුරා පුපුරණ ද්‍රව්‍ය අතුරා ඇති බවත්, ඒවා පුපුරුවා ගනිමින් තවත් විශාල පිරිසක් සමග සමුගන්නා බවත් ඔහු කියා තිබුණි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේ අතිශය ඛේදජනක වෙඩි තැබීම් දැක්වෙන වීඩියෝ පවා අන්තර්ජාලයට මුසුවී තිබූ අතර, පොලිස් නිලධාරීන් මොවුන්ගේ ගොදුරු බවට පත්වන ආකාරය එහි දැකිය හැකිවිය.
මෙම නගරය මැදින් කළු ජාතික උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේදී පොලීසිය ඉලක්ක කරමින් සැඟව සිට සිදුකළ මෙම ස්නයිපර් මාදිලියේ ප්‍රහාරය වඩාත් සැලසුම් සහගතව සිදුකර ඇති බව මේ වනවිට පොලීසිය අනාවරණය කරගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
මින්නෙසෝටා සහ ලුසියානා යන ප්රාන්තවලදී කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීම මෙම ප්‍රහාරයට මුල්විය.