දකුණු කොරියාවේ සීත සෘතු ඔලිම්පික් ක්රීඩා උලෙළට සහභාගී වූ ඇමෙරිකානු ජාතික හිම මත ලිස්සා යෑමේ ක්රීඩක ගුස් කෙන්වර්දි එරට මස් පිණිස ඇතිකරන සුනඛයෙකු බේරාගැනීමත් සමග දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.
මෙම ක්රීඩකයා තමා බේරාගත් සුනඛ පැටවා සහ තම මිතුරෙකු සමග ලබාගත් එම ඡායාරූප සිය ඉන්ස්ටර්ග්රෑම් වෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු කිරීමත් සමග මෙම සිදුවීම පිළිබඳ කතාබහ ඇති වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඔහු එම ඡායාරූප පළ කරමින් සඳහන් කර තිබුණේ සුනඛ මස් වෙළොඳාමේ අමානුෂිකත්වයට එරෙහිව පෙළගැසිය යුතු බවයි.
ඔහුගේ ඉන්ස්ටර්ග්රෑම් ඡායාරූප සඳහා විශාල ආකර්ෂණයක් ලැබෙද්දී, ඊට එරෙහිව අදහස් මතුවීම්ද දක්නට ලැබී ඇත.
එහිදී ඇතමෙකු පවසා ඇත්තේ දකුණු කොරියාව තුළ මහා පරිමාණයෙන් සුනඛ මස් අනුභවයක් සිදු නොවන බවකි. එමෙන්ම, ඇමෙරිකාව තුළ මස් අනුභවය (සුනඛයන් හැර සෙසු සතුන්) මෙම සිදුවීම හා සැසඳීමේදී මහා පරිමාණ තත්ත්වයක් බවද ඔවුහු පෙන්වා දී ඇත.