සිකා වෛරසය නිසා සංචාරක අවදානම් කලාප ලෙස තවත් රාජ්‍යයන් 08ක් නම් කිරීමට රෝග පාලනය හා නිවාරණය සම්බන්ධයෙන් වූ ඇමෙරිකානු මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
බාබඩෝස්, බොලීවියාව, ඉක්වදෝරය, ග්වාඩලොප්, ගුයානාව, කේප් වෙර්ඩේ, සමෝවා සහ සෙන්ට් මාර්ටින් දූපත් මෙසේ අලුතින් සංචාරක අවදානම් පැනවූ රාජ්‍යයන් බව එම මධ්‍යස්ථානය පවසයි.
මදුරුවන් මූලිකව බෝවන, කැරීබියානු හා ලතින් ඇමෙරිකානු රාජ්‍යයන් වෙත පැතිර යන සිකා වෛරසය විශේෂයෙන්ම ගැබිණි මවුවරුන්ට දැඩි අවදානමක් ගෙන දෙන බවද කියැවෙයි.
මීට පෙර එම ඇමෙරිකානු මධ්‍යස්ථානය විසින් බ්‍රසීලය, කොලොම්බියාව, එල් සැල්වදෝරය, ප්‍රංශ ගිනියාව, ග්වතමාලාව, හයිටි, හොන්ඩූරාස්, මාර්ටිනීක්යු, මෙක්සිකෝව, පැනමාව, පැරගුවේ, සුරිනාමේ, වෙනිසියුලාව සහ ඇමෙරිකානු පොදු රාජ්‍ය මණ්ඩලීය පොර්ටෝ රීකෝ යන රාජ්‍යයන් 14 ද සංචාරක අවදානම් කලාප ලෙස නම් කර තිබුණි.