ස්පාඤ්ඤ ඉතිහාසයේ රාජකීය පවුලට අයත් වූවෙක් ප්‍රථම වරට අධිකරණය හමුවේ පෙනී සිටිමින්, එරට ජුආන් කාලෝස් රජුගේ බාල දියණිය වන ක්‍රිස්ටිනා කුමරිය වංචා චෝදනාවක් යටතේ මලෝකාහි අධිකරණයක් ඉදිරියේ සාක්ෂි ලබාදුන්නාය.
මෙහිදී, ක්‍රිස්ටිනා කුමරිය අධිකරණ සංකීර්ණයේ පිටුපස දොරටුවෙන් දැඩි ආරක්ෂා රැකවල් සහිතව ඇතුළු වෙද්දී, ගොඩනැගිල්ල අනෙක් පස දැඩි විරෝධතාවක් පැවති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇගේ ස්වාමියා විසින් ඩොලර් මිලියන ගණනක මහජන මුදල් අයුතු ලෙස පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා යොදාගෙන ඇති බවට නැඟෙන චෝදනා හමුවේ, ක්‍රිස්ටිනා කුමරියටද මෙසේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුව ඇත.
ක්‍රිස්ටිනා කුමරිය හා ඇගේ ස්වාමියා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළද, දීර්ඝ කාලයක් පැවැත්වෙන මෙම නඩු විභාගය රජ පවුලේ කීර්තිනාමයට මෙන්ම, රාජාණ්ඩුවට ඇති ජනතා සහාය පළුදු වීමට හේතුවක් වනු ඇති බවද කියැවෙයි.