බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ හදිසි මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇගේ ස්වාමි පුරුෂයා වූ බොනී කපූර් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි හි බර් ඩුබායි පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.
එහිදී, බර් ඩුබායි පොලීසිය ඔහුගේ කටඋත්තරය පටිගත කරගෙන ඇති අතර, එම කටඋත්තරය ලබාදීමෙන් පසුව යළිත් ඔහුට තමන් දැනට රැඳී සිටින ඩුබායි හෝටල් කාමරය වෙත යෑමට අවසර ලබාදී ඇති බව ඉන්දීය පී.ටී.අයි. පුවත් සේවය පවසයි.
මේ අතර, ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් නීත්‍යනුකූල කටයුතු සිදුකිරීම සඳහා ඩුබායි නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බැවින් සිරුරු නිදහස් කරන දිනයක් පිළිබඳ ඊයේ (26දා) වනවිටත් පැහැදිලිතාවක් නොවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත් අද (27දා) සිරුර නිදහස් කරගැනීමට හැකිවනු ඇති බවට ඇගේ පවුලේ ඥාතීහු විශ්වාසය පළ කරති.
54 හැවිරිදි වියේ පසුවූ ශ්‍රීදේවිගේ මරණය ඇය ඩුබායි හි සහභාගී වූ පවුලේ විවාහ මංගල උත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූවක් බව මුලින් සඳහන් කෙරුණි. මෙම පුවත ඇසීමෙන් ලොව පුරා සිටින ඇගේ රසික රසිකාවියන් මහත් කම්පනයකට පත්විය. ඇයට හෘදයාබාධ සම්බන්ධ ඉතිහාසයක් නොවූ බැවින් ඇගේ ඥාතීන්ට මේ පුවත අදහාගත නොහැකි විය.
කෙසේ වෙතත්, ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ඇය ඩුබායි රැඳී සිටි ජුමෙයිරාහ් එමීරේට්ස් ටවර්ස් හි හෝටල් කාමරයේ ටබ් එක තුළ අහඹු ලෙස දියේ ගිලීමෙන් මියගොස් ඇති බව ඩුබායි පොලීසිය ඊයේ (26දා) සඳහන් කිරීමත් සමග මෙම මරණය සම්බන්ධයෙන් බොහෝදෙනා විමතියට පත්වූහ.
ඒ අනුව, ශ්‍රීදේවි හෝටල් කාමරයේ ටබ් එක තුළ සිහිසුන්ව සිටින ආකාරය සෙනසුරාදා සවස මුලින්ම දැක ඇත්තේ ඇගේ ස්වාමි පුරුෂයා වූ චිත්‍රපට අධ්යක්ෂ බොනී කපූර්ය. එහිදී, හෝටලය වෙත කැඳවූ හදිසි ප්‍රතිකාර කණ්ඩායම ඇයට ප්‍රතිකාර කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුව ඇය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි. රෝහල්ගත කරන විටත් ඇය මියගොස් සිට ඇති බව තහවුරු වන්නේ ඉන් අනතුරුවය. කෙසේ වෙතත්, මේ සියලු සිදුවීම් සඳහා පැය කිහිපයක් ගතවී තිබීම ප්‍රශ්න කිරීමකට ලක්වෙමින් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ඇගේ මරණයට හේතුව 'අහඹු දියේ ගිලීමකි'. එහිදී, ඇය සිහිසුන්ව ටබ් එකට වැටී පසුව දියේ ගිලෙන්නට ඇති බවට මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මේ අතර, ඇගේ රුධිරයේ යම් ඇල්කොහොල් ප්‍රමාණයක් තිබී ඇති බවද මරණ පරීක්ෂණයේ සඳහන්ව තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ශ්‍රීදේවි ඩුබායි නුවර සහභාගී වූ විවාහ මංගල්‍යයට බොනී සහ ඔවුන්ගේ බාල දියණිය වූ කුෂී ද සහභාගී වී තිබුණි. කෙසේ වෙතත්, විවාහ මංගල්‍යයෙන් පසුව දියණිය යළි ඉන්දියාවට ගෙනැවිත් හැරලීමට බොනී ඇය සමග මුම්බායි පැමිණ ඇත්තේ ශ්‍රීදේවි ඩුබායි හෝටලයේ සිටියදීය. කෙසේ වෙතත්, බොනී යළිත් ඩුබායි වෙත පැමිණෙමින් සිය බිරිඳ වූ ශ්‍රීදේවි පුදුමයට පත්කිරීමට කටයුතු කර ඇති බවද කියැවෙයි. ඔවුන් දෙදෙනා රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීම සඳහා යෑමට සූදානම් වූ සෙනසුරාදා රාත්රියේදී මෙම මරණය සිදුව ඇත.
ශ්‍රීදේවිගේ දේහය යළි ඉන්දියාවේ මුම්බායි නගරය වෙත රැගෙන ඒම සඳහා විශේෂ ජෙට් යානයක් දැනටමත් ඩුබායි වෙත පිටත්කර යැවීමට ප්‍රකට ව්‍යාපාරික අනිල් අම්බානි කටයුතු කර තිබේ.
මේ අතර, සිරුර ඊයේ රැගෙන එන පුවත සමග ශ්‍රීදේවිගේ මස්සිනා මෙන්ම, ඇයත් සමග දශක කිහිපයක් රිදී තිරයේ පෙම්වතා වූ අනිල් කපූර්ගේ නිවසද චිත්‍රපට නළු නිළියන්ගෙන් පිරී ඉතිරී ඇත. එසේ පැමිණ සිටි නළු නිළියන් අතර කරීෂ්මා කපූර්, මදුරි ඩික්ෂිත්, ජය ප්‍රදා, තාබු, කමලා හසන් සහ වෙන්කටේෂ් ආදීහු සිටි බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය මේ වනවිට ප්‍රශ්න රැසක් නගමින් සිටියි. ශ්‍රීදේවි ක්ෂණික ක්ලාන්තයක් ඇතිවන රෝගී තත්ත්වයකින් පෙළෙන බවට සඳහන් කෙරෙන බැවින්, ඇය තනිවම හෝටලයක රඳවා ගියේ ඇයිද යන ප්රශ්නය ඔවුන් නඟයි. එමෙන්ම, ඇය සමග ඇගේ සහෝදරිය වූ ශ්‍රීලතා හෝටලයේ රැඳෙන බව සඳහන් වුවත්, ඇය තනිවම හෝටලයේ සිට ඇත්තේ ඇයිද යන පැනයද ඔවුන් විසින් නඟයි.
එමෙන්ම, ඇයට පුදුමයට පත් කරමින් රාත්‍රී භෝජනයකට සහභාගී වීමට ඉන්දියාවේ සිට යළි පැමිණි ඇගේ ස්වාමියා බොනී විනාඩි 15ක පමණ කාලයක් ඇය සමග කතා කිරීමෙන් පසුව ඇය නාන කාමරය වෙත ගොස් තිබේ. එවිට වෙලාව සවස 5.45 පමණ බව කියැවෙයි. ඉන් විනාඩි 15කට පමණ පසුත් ඇය යළි නොපැමිණි විට තමන් නාන කාමරයේ දොරට තට්ටු කළද එය විවෘත නොවූ බැවින්, විපරම් කරද්දී ඇය ජලයෙන් පිරීගිය ටබ් එක තුළ සිහිසුන්ව වැටී සිටි බව බොබී කියා තිබුණි.
එහිදී මුලින්ම ඔහු ඇයට ප්‍රතිකාර කිරීමට උත්සාහ කර පසුව ඔහුගේ මිතුරෙකට ඇමතුමක් ලබාදී ඇත. හදිසි ප්‍රතිකාර කණ්ඩායම් කැඳවා ඇත්තේ ඉන් අනතුරුව බවද කියැවේ. එමෙන්ම, ඔහු අවසානයේ මේ බව පොලීසියට දන්වා ඇත්තේ රාත්‍රී 9.00 ට පමණ බවද මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, සවස 6.00ට පමණ සිහිසුන්ව සිට හමුවූ ශ්‍රීදේවි, ක්ෂණිකව රෝහල්ගත නොකළේ ඇයිද යන පැනය ඉන්දීය මාධ්‍ය නඟයි. ඉන් නොනැවතී, මෙම සිදුවීමෙන් පැය 3ක් යනතුරුත් පොලීසියට මේ බව දැනුම් නොදුන්නේ ඇයිදැයි යන්න මාධ්‍ය නඟන තවත් පැනයකි.
කෙසේ වෙතත්, මේ වනවිට ඉන්දීය සිනමාවේ බිහි වූ අග්‍රගණ්‍ය සිනමා තාරකාවක වන ශ්‍රීදේවි සිය දිවිගමනින් සමුගෙන අවසන්ය. ඇයගේ මරණය සම්බන්ධයෙන් වූ මේ උභතෝකෝටිකයන් පිළිබඳව ඇගේ රසික රසිකාවියන් මහත් වූ උනන්දුවකින් පසුවන බවද නොරහසකි.