වේල්සයේ රෝස කුසුම යන විරුධාවලිය ලබමින්, මහා බ්‍රිතාන්‍යය රජ පවුලේ වඩාත් කතාබහට ලක්වූ වේල්සයේ කුමරිය බවට පත් ඩයනා ස්පෙන්සර් සිය දිවි ගමනින් සමුගෙන අදට (31දා) විසි වසරක් සපිරෙයි.
වර්ෂ 1961 ජූලි 01 වැනිදා ඩයනා ෆ්රාන්සෙස් ස්පෙන්සර් නමින් උපත ලැබූ මේ සුන්දර දූ කුමරිය, වර්ෂ 1981 පෙබරවාරි 24 වැනිදා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන් සමග විවාහ ගිවිස ගැනීම සිදුවිය. එම ජූලි 29 වැනිදා පැවති ඔවුන්ගේ විවාහ මංගල්‍යය එදාමෙදා තුර ලෝක ඉතිහාසයේ වැඩිම පිරිසකගේ අවධානය දිනාගත් සහ මිලියන 750ක රූපවාහිනී ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරගත් විවාහ මංගල්‍යයක් බවට පත්විය.
විලියම් සහ හැරී යන පුත් කුමරුන් දෙදෙනෙකුගේ දයාබර බවක් මෙන්ම, රාජකීයත්වය සාමාන්‍ය ජන හදවත් සමග බද්ධ කළ වේල්සයේ කුමරිය ලෙස ඇය රාජ කුමරියකට වඩා සමාජ සේවිකාවක ලෙස ජනාදරයට පත්වන්නට විය. කෙසේ වෙතත්, ඩයනා සමග විවාහ වනවිටත් චාර්ල්ස් කුමරු, කැමිලා පාකර් සමග පැවති සබඳතාව ඔවුන්ගේ විවාහය වෙත කණකොකා හැඬවීමට වැඩි කාලයක් ගත වූයේ නැත.
වර්ෂ 1992 දෙසැම්බර් මාසයේදී ඔවුන් දෙදෙනාගේ වෙන්වීම ප්‍රසිද්ධියට පත්වූ අතර, 1996 අගෝස්තු මාසයේදී දික්කසාදය තීන්දු විය. රජ පවුලෙන් වෙන් වුණත්, තම සමාජ සේවා කටයුතු නොපිරිහෙලා ඉටුකළ ඩයනා, රාජකීයයන් ඉක්මවා යන කීර්ති රාවයක් පැතිරූ යුගයේ කාන්තාවක බවට පත්විය.
නමුත්, ඒ සොඳුරු හදවත නිහඬ කළ මරණය ඇය සොයා ආවේ කිසිවෙකුත් නොසිතූ මොහොතකය. ඒ හරියටම අද වැනි දිනකය. වර්ෂ 1997 අගෝස්තු 31 වැනිදාය. එවකට ඇගේ හදවත දිනූ ඩොඩී අල්ෆයර්ඩ් සමග නිවාඩුවක් ගත කිරීමට පැරීසියට ගොස් සිටි ඩයනා හදිසි අනතුරකට මුහුණ දුන්නාය. එම අනතුරින් ඩයනා, ඩොඩී සහ රියදුරු හෙන්රි පෝල් ඒ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ. මෙම මරණයේ චෝදනාව ඩයනා පසුපස ලුහුබැඳි පැපරාසීන් වෙත පැවරුණද, එහි බොහෝ සැඟවුණු කතා ඇති බව මේ දශක දෙකකට ආසන්න කාලය තුළ වරින් වර මතුවන විවිධ සිදුවීම් ඔස්සේ ඉස්මතු වූ බව නොරහසකි.
අද, අගෝස්තු 31 වැනිදා ඩයනා සිය දිවි ගමනින් සමුගෙන විසි වසරක් සපිරෙන මොහොතේ ඇයගේ පුතුන් දෙදෙනා සහ ලේලිය මුලින්ම ඩයනා වෙනුවෙන් සිය ගෞරවය දැක්වීමට පැමිණ සිටියහ.
ඩයනා එකල විසූ ලන්ඩනයේ, කෙන්සින්ග්ටන් මාලිගය ඉදිරිපිට ඩයනාට පෙම්බැඳි දහසකුත් ජනයා තබාගිය මල් කලඹ, ඉටි පන්දම් මෙන්ම, විවිධ වැකි සඳහන් වූ පෝස්ටර්, කාඩ්පත් මේ පුතුන් දෙදෙනාගේ සිත් පැහැරගත් බව විදෙස් වාර්තාවල දැකගත හැකිවිය. මේ ඩයනා වෙනුවෙන් වූ එවැනි වැකි කිහිපයකි,
"ඇය සාමාන්‍ය ජනතාව ගැන සිතුවා. ඇය සුවිශේෂීයි. ඇගේ පුතුන් දෙදෙනා ඇගේ කාර්යය දිගටම සිදුකරනවා. ඔවුන් ඇය වගේමයි..."
"ඩයනා... අපේ නිර්භීත කුමරිය. ඔබේ පුතුන්ට ඔබේ ශක්තිය ලැබී තිබෙනවා..."
"ඔබ වැනි කුමාරියක් ලැබීමට අපේ රට මොනතරම් වාසනාවන්ත වුණාද...?"
කෙසේ වෙතත්, අදින් හරියටම වසර 20කට පෙර තම මව මියගිය මොහොතේ මේ ආකාරයෙන්ම කෙන්සින්ග්ටන් මාලිගය ඉදිරිපිට ඩයනා වෙනුවෙන් තබාගිය දහසකුත් මල් කලඹ හා විවිධ වැකි සඳහන් වූ පෝස්ටර් හා කාඩ්පත් දෙස නව යොවුන් වියේ පසු වූ විලියම් සහ පුංචි හැරී කුමරු බලන විට චාර්ල්ස් කුමරුන්ද ඔවුන්ගේ තනියට සිටියද, මෙවර ඩයනා වෙනුවෙන් කුමාරවරු දෙදෙනා සමග සිටියේ ඇයගේ ලේලිය, හෙවත් ඩයනා නම ඉදිරියට ගෙනයෑමට සිටි කේට් කුමරියයි.
ඉන් අනතුරුව කුමාරවරු කෙන්සින්ග්ටන් මාලිගයේ සන්කන් උද්‍යානය නැරඹීමට ගිය අතර, එය මෙම වසරේ සිට ඩයනා කුමරියට උපහාර ලෙස ධවල උද්‍යානය ලෙස නම් කෙරිණි.