වෙන්සියුලාවේ වත්මන් ජනපති නිකොලාස් මදුරෝගේ ඒකාධිපතීත්වයට එරෙහිව යැයි පවසමින් එරට රජයේ වෙබ් අඩවි කිහිපයකට හැකර් ප්රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
'ද බයිනරි ගාඩියන්ස්' නමින් හඳුන්වන හැකර් කණ්ඩායමක් විසින් මෙම ප්රහාරය එල්ල කර ඇති අතර, ඔවුන් පසුගිය ඉරිදා දිනයේදී වැලෙන්සියා නගරයේ වෙන්සියුලා හමුදා කඳවුරට ප්රහාරයක් එල්ල කළ ආයුද සන්නද්ධ පිරිසට සහයෝගය දක්වන පිරිසක් ලෙසද සැලකෙයි.
ඔවුන් විසින් අනවසරයෙන් ඇතුළු වී ඇති රජයේ පරිගණක පද්ධති අතර වෙනිසියුලානු රජයේ නිල වෙබ් අඩවිය, ජාතික මැතිවරණ කවුන්සිලයේ වෙබ් අඩවිය මෙන්ම, වෙනිසියුලානු නාවික හමුදාවේ වෙබ් අඩවියද වෙයි.
මේ අතර, ජනපති මදුරෝ හිතවාදී පෙළපාලියක්ද කරකාස් අගනුවරදී පැවැත්වුණු අතර, ඔවුන් කියා සිටියේ මාස කිහිපයක් පුරා රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ හා ප්රචණ්ඩක්රියා නවතා දැමිය යුතු බවයි.
වෙන්සියුලාවේ කඩා වැටුණු ආර්ථිකය මෙන්ම, වත්මන් ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් මේ දක්වා 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.