ISIS ත්රස්තයන් ක්‍රම ක්‍රමයෙන් ඉරාකයේ නගර අත්පත් කරගනිමින් ඉරාකය පුරා මර බිය ඇතිකර ඇති තත්ත්වයක එරට තුළ විවිධ රැකියාවන්හි නියුතු සිය දහස් ගණනක් වූ විදේශීය ශ්‍රමිකයන්ද විවිධ අන්දමේ අවදානම් තත්ත්වයන්ට මුහුණ දී ඇති බව පැවසෙයි.
ඒ අතර, ඉන්දියානු ජාතික රෝහල් සාත්තු සේවිකාවන් පිරිසක් රෝහල් වාට්ටුවකට කොටු වී සිටින අතර ඔවුන් මුදවා ගැනීම පිණිස ඉන්දීය රජය හා ඉරාක බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වෙයි.
ඉන්දියානු රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිත පිරිසක් ඉරාකයේ ටික්රිට් හි රෝහලක මෙසේ කොටුවී සිටින ඉන්දියානු සාත්තු සේවිකාවන් 46 දෙනා මුණගැසී සුවදුක් විමසා ඇති බවද වාර්තා වෙයි.
රෝහල තුළ කොටුවී සිටින ඉන්දීය ජාතික සාත්තු සේවිකාවන් නිරුපද්‍රිතව ඉන් මුදාගැනීමට අවශ්‍ය වුවත්, තවමත් මහා මාර්ග ඒ සඳහා සුදුසු තත්ත්වයක නැති බව ඉරාක රජය පවසා ඇත.
“අපිට දීල තියෙන්නෙ කෑම පිඟානක් විතරයි. අඩු තරමින් බොන්න තේ ටිකක් වත් නෑ. අපි මේ වැටිලා ඉන්නෙ ඒ නිසයි. හැමෝටම තියෙන්නෙ එක වාට්ටුවයි. ආයුධ ගත් අය එහා මෙහා යන නිසා අපිට මේ රෝහල් ගොඩනැගිල්ලෙන් එළියට යන්න බැහැ” යනුවෙන් පැවසුවේ මෙසේ කොටුවී සිටින සාත්තු සේවිකාවකි.
මේ ආකාරයෙන් තවත් රටවල විදෙස් ශ්‍රමිකයන් විශාල පිරිසක් වත්මන් වාතාවරණය තුළ ඉරාකයේ කොටුවී ඇති බව වාර්තා වෙයි.