මීට වසර 13කට පෙර නැති වූ තමාගේ දියමන්ති මුදුව පවුලේ ගොවිපොළකින් නෙළාගත් කැරට් ගෙඩියකට මැදිව තිබියදී හමුවූ අපූරු පුවතක් කැනඩාවෙන් වාර්තා වෙයි.
84 වැනි වියෙහි පසුවන මේරි ග්රෑම්ස් 2004 වසරේදී පවුලේ ගොවිපොළ භූමියේ පැවති විවාහ උත්සවයකට සහභාගී වී සිටියදී මෙම මුදුව නැතිවූ අතර, එය ඇයට අතිශය කනගාටුවක් ගෙනදුන් සිදුවීමක් වී තිබුණි.
නමුත්, මෙම මුදුවේ නැතිවීම තම පුතාට පමණක් පවසා දශකයකට අධික කාලයක් එය රහසක් ලෙස තබාගැනීමට ඇය කටයුතු කර තිබීමද විශේෂත්වයකි.
ඒ අනුව, තම මුදුව ආකාරයේම මිලෙන් අඩු මුදුවක් මිලදී ගෙන එය පැළඳ සිටීමට ඇය කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, පසුගිය සඳුදා ඇයගේ මිණිබිරිය මෙම සුවිශේෂී කැරට් ගෙඩිය සොයාගෙන තිබූ අතර, මීට වසර 13කට පෙර නැති වූ මුදුව එම කැරට් ගෙඩියට හාවී තිබෙනු දැක ඇය පුදුමයට පත්ව ඇත.
මෙම නැතිවූ මුදුව පස් අතර යටවී තිබියදී මේ ආකාරයෙන් කැරට් ගෙඩිය මුදුව අතරින් වැඩී ඇති බව විශ්වාස කෙරෙයි.