ඇමෙරිකාවේ, ලාස් වේගාස් නුවර සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ විවෘත වෙඩි තැබීමෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය 50ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ප්‍රහාරය සිදුකළ පුද්ගලයා 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මැන්ඩලේ බේ හෝටලයේ 32 වැනි මහලේ සිට සංගීත ප්‍රසංගයේ සිටි පිරිස වෙත මෙම විවෘත වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වෙයි.
මෙම ප්‍රහාරකයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, ඔහු පොලිස් වෙඩි පහරින් පසුව ජීවිතක්ෂයට පත්වූ බවත් පොලීසිය පවසයි.
මෙය හුදකලා ත්‍රස්ත ප්රහාරයක ස්වරූපයක් ගන්නා බව පළාත් පොලිස් ප්‍රධානී ජෝ ලොම්බාර්ඩෝ මාධ්‍ය අමතමින් සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරකයා සමග පැමිණි තවත් අයෙකු සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ සිදුවන අතර, ඔහු හඳුනාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පැවසෙයි.
පොලිස් ප්‍රධානියා පවසා සිටියේ ආසියානු සම්භවයක් ඇති මැරිලෝව් ඩේන්ලී නමැති කාන්තාවක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි. ඇය මෙම පුද්ගලයා සමග හෝටල් කාමරයේ සිටි බවද අනාවරණය වෙයි. පොලීසිය ඇයගෙන් ප්‍රශ්න කරමින් පවතින බවද කියැවේ.
කෙසේ වෙතත්, පොලීසියට අනුව මරණ සංඛ්‍යාව තවමත් පැහැදිලි නැතත්, මෙම ප්‍රහාරයෙන් සංගීත ප්‍රසංගයේ ආරක්ෂාවට යොදවා සිටි පොලීසියේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පළාත් පොලිස් ප්‍රධානියා අවධාරණය කරයි.
මේ අතර. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
ලාස් වේගාස් නුවරින් ඔබ්බට වෙඩි ප්‍රහාරයක් සිදුවන බවට කටකතා පැතිර ගියත්, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවද පොලීසිය පවසයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ වෙඩි ප්‍රහාර සිය ගණනක් එක දිගට එල්ල වූ බවයි. ප්‍රහාරය සිදුවූ ආකාරයට එය ස්වයංක්‍රීය ගිනි අවියකින් සිදුකළ වෙඩි ප්‍රහාරයක් බවද ඔවුහු පවසති.