රුසියාවේ අතිශය සීතල නගරයක් ලෙස සැලකෙන යකුට්ස්ක් හි පසුගියදා සුවිශේෂී මැරතන් තරගයක් ආරම්භ වුණා. මැරතන් තරගයක් කිව්වත්, මේ තරගයට සහභාගි වෙන අයට දුවන්න නම් වුනේ නැහැ. නමුත්, මැරතන් කියා සඳහන් වුනේ, මේ තරගය ටිකක් වෙලා අරගෙන කරන්න ඕනෑ වූ නිසයි. වෙලාව වැඩි වෙන තරමට තරගෙන් දිනන්න ලැබෙනවා. සෙල්සියස් අංශක සෘණ 29ක උෂ්ණත්වයක් එහෙමත් නැත්නම් දැඩි සීතලක් පවතින එළිමනේ වැඩිම කාලයක් හාදුවක් දෙන යුවළ මේ හාදු මැරතන් තරගයෙන් ජයග්‍රහණය කළා.
‘ආදරය ඔබව උණුසුම් කරාවි’ යන තේමාව යටතේ පැවති මේ තරගයට තරුණ තරුණියන් ජෝඩු 18ක් සහභාගි වී සිටියා. හිමෙන් පිරී ගිය යකුට්ස්ක් නගර මධ්‍යයේ තරගය ආරම්භ වුණා.
ප්‍රථම ජෝඩුව පැය භාගයකින් තරගයෙන් ඉවත්වූ බව තරග සංවිධායකයන් පැවසුවා. කෙසේ වෙතත් අවසානය දක්වා යනවිට තරගය වඩාත් උණුසුම් වුණා. තරග නීති තවත් දැඩි කිරීමට සංවිධායකයන් තීරණය කළා. ඒ අනුව, ප්‍රථම ස්ථානය දිනාගැනීමට නම්, තම පෙම්වතියව දෑතින් දරාගෙන හාදුවේ රැඳී සිටීමටත් ඔවුන්ට සිදුවුණා.
අවසානයේ පැයකුත් විනාඩි 20ක කාලයක් මේ ආකාරයෙන් අධික සීතලේ හාදුවක රැඳී සිටි යුවළට හාදු මැරතන් තරගයේ ජය හිමිවුණා. ඔවුන්ට ඉතාලි අවන්හලක සදා මතකයේ රැඳෙන රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇතුළු තවත් තෑගිභෝග රැසක් ලැබුණු බව කියවුණා.
රුසියාවේ ගම්මද සාඛා පළාතට අයත් යකුට්ස්ක් නගරය සැලකෙන්නේ එරට සීතලම නගරය ලෙසයි. ජනවාරි මාසයේදී මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 40ක් දක්වා අඩු වෙනවා. කොතරම් සිතල වුණත්, මේ නගරය කේන්ද්‍ර කරගෙන 280,000ක පමණ ජනතාවක් වාසය කරන බවත් පැවසිය යුතුයි.