රුසියානු හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් නැගෙනහිර යුක්රේනයේ ක්රමාටෝර්ස්ක් නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයක් අත්පත් කරගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
යුද හමුදා ඇඳුමින් සැරසුන හඳුනා නොගත් තුවක්කුකරුවන් පොලිස් මූලස්ථානය අල්ලාගත් බව ඇසින් දුටු සාක්ෂිකරුවන් මෙන්ම, එරට මාධ්‍ය වර්තා පෙන්වාදී තිබූ බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
මීට පෙර ඩොනේට්ස් නගරයේ රජයේ ගොඩනැගිලි කිහිපයක්ම මෙම සන්නද්ධ කණ්ඩායම් විසින් අත්පත් කරගත් බව වාර්තා වුණි.
යුක්රේනයේ නව රජය හා රුසියානු හිතවාදී උද්ඝෝෂකයන් අතර වර්ධනය වන උණුසුම්කාරී වාතාවරණයත් සමග මේ ආකාරයෙන් රජයේ ගොඩනැගිලි අත්පත් කරගැනීම සිදුවන බව කියැවෙයි.
නැගෙනහිර යුරෝපය යනු රුසියානු භාෂාව හසුරුවන වැඩි පිරිසක් ජීවත් වන කලාපයකි. රුසියානු හිතවාදී වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කිරීමත් සමග මෙම කලාපයේ උද්ඝෝෂණ රැල්ල ක්‍රමයෙන් වර්ධනය විය.
කෙසේ වෙතත් යුක්රේන බලධාරීන් රුසියාව වෙත ඇඟිල්ල දිගු කරමින් පවසා සිටින්නේ මෙම උණුසුම් තත්ත්වයට ඔවුන් වගකිව යුතු බවය. නමුත්, රුසියාව එකහෙලාම එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මේ සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු වගකීමක් නොමැති බව පවසයි.
මේ සමගම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් වෙත දුරකථනයෙන් කතා කර ඇති අතර, ලැව්රෝව් පවසා ඇත්තේ යුක්රේනයේ දෛවය සම්බන්ධයෙන් වගකීමක් දැරීමට තරම් යුක්රේන රජය අසමත්කමක් දක්වන බවයි.
එමෙන්ම නැගෙනහිර යුක්රේනයේ සිටින රුසියානු කතාකරන ජනතාවට එරෙහිව යුක්රේන රජය සන්නද්ධ ක්‍රියාමාර්ගයක් ගතහොත් එය ලබන සතියේ ජිනීවා හි ආරම්භ වන ද්වීපාර්ශ්වික සාකච්ඡා හෑල්ලුවට ලක් කිරීමක් බවද ලැව්රෝව් පවසා ඇත.