මධ්‍යම රුසියාවේ හමුදා ප්‍රහාරයකට සූදානමින් සීරුවෙන් තබන ලෙස එරට ජනාධිපති ව්ලැඩිමීර් පූටින් නියෝග කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ එම නියෝගය යුක්රේන දේශ සීමාව ආසන්නයේ සිටින රුසියානු හමුදාවන්ට බල නොපැවැත්වෙන බවද එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ ආකාරයේම නියෝගයක් මීට මාස කිහිපයකට පෙරද පූටින් ජනාධිපතිවරයා ලබාදි තිබුනේ එරට හමුදාවන්ගේ යුද සූදානම පිරික්සුමක් වශයෙන් බව කියැවෙයි.
නමුත්, මෙවර ඇමෙරිකාව විසින් රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන බවට අනතුරු ඇඟවීමෙන් දිනකට පසුව එම නියෝගය නිකුත් කෙරී තිබීමද විශේෂත්වයකි. එහිදී ඇමෙරිකාව කියා සිටියේ, නැගෙනහිර යුක්රේනයේ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට පියවර නොගතහොත් තවත් සම්බාධක පනවන බවය.
මේ අතර, යුක්රේන නව ජනාධිපති පොරෝෂෙන්කෝ දින හතක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් කැඳවූවද නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටීම තුළ එය අසාර්ථක උත්සාහයක් වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.