යේමනයේ සානා අගනුවර කැරලිකාර පාර්ශ්වයේ කඳවුරක් ඉලක්ක කරමින් සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය එල්ල කළ ගුවන් ප්රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩිදෙනා එම කඳවුර තුළ අත්අඩංගුවේ පසුවූවන් බවද සඳහන් වෙයි.
එහි ආරක්ෂාවට සිටි කැරලි හමුදා සාමාජිකයෙකු පවසා තිබුණේ මුල්ම ගුවන් ප්රහාරයෙන් කඳවුරු භූමියේ වූ සිර මැදිරි සංකීර්ණයේ එක් කොටසක් විනාශ වූ බවයි.
ඒ අවස්ථාවෙන් රැඳවූවන් පිරිසක් තම ජීවිත බේරාගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේදී තවත් ගුවන් ප්රහාරයකින් රැඳවුම් කඳවුරම විනාශ වූ බව හෙතෙම පවසා ඇත.
යේමනයේ හොයුතු කැරලි හමුදාවට එරෙහිව එරට රජය ගෙනයන සටනට සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ සහාය හිමිවෙයි.
2015 වසරේදී මෙම ගැටුම් ඇතිවීමත් සමග මේ දක්වා පුද්ගලයන් 8,670 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 49,960 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වාර්තාවල දැක්වෙයි.
