යුක්රේන ජනපති වික්ටර් යුනිකොවිච් සහ විපක්ෂ නායක අර්සෙනියි යැට්සෙන්යුක් අතර ඇති කරගත් තාවකාලික එකඟතාව බිඳ වැටෙමින්, කියෙව් අගනුවර උද්ඝෝෂණකයන් සහ පොලීසිය අතර ඊයේ (20දා) යළිත් ගැටුම් උත්සන්න වෙමින් ජීවිත 22ක් අහිමි වූ බව වාර්තා වෙයි.
ඒ අනුව, පසුගිය සඳුදා සිට කියෙව් අගනුවර හටගත් දරුණු ගැටුම් හේතුවෙන් මේ වනවිට 50කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව පැවසෙයි.
පසුගිය සඳුදා සිට කියෙව් අගනුවර නිදහස් චතුරස්රය එකම ගිණි ජලාවක් බවට පත්වූ අතර, ගැටුම් උත්සන්න වීමත් සමග ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා මෙන්ම ලෝක බලවතුන් යුක්රේනයේ සිදුවන මේ මහා විනාශය පිළිබඳ දැඩි විවේචනයක් සිදු කරමින් ගැටුම් නතර කිරීම කෙරෙහි බලපෑමක් කළේය.
ඒ අනුව, ජනාධිපතිවරයා හා විපක්ෂ නායකයා අතර තාවකාලික එකඟතාවක් ඇති වුවත්, විරෝධතාකරුවන් නිදහස් චතුරස්රයෙන් ඉවත් කිරීමට පොලිස් බලය පාවිච්චි නොකළ යුතු බව විපක්ෂ නායක යැට්සෙන්යුක් අවධාරණය කළේය.
නමුදු, ඊයේ දිනයේ පොලිසිය ජල ප්රහාර මෙන්ම සජීවී උණ්ඩ යොදා ගනිමින් ප්රහාර එල්ල කළ බවට උද්ඝෝෂකයන් චෝදනා කළේය. මේ සමගම නැවත ගැටුම්කාරී තත්ත්වය වඩාත් උත්සන්න වූයේ කියෙව් අගනුවර මහා මිනිස් සංහාරයක් ඇති කරමිනි.