පුද්ගලයන් 239 දෙනෙකු සමග පියාසර කරමින් තිබියදී පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් යානය සෙවීම වේගවත් කිරීමට මැලේසියාව සියලු ක්‍රියාමාර්ග ගතයුතු බව චීනය අවධාරණය කරයි.
රටවල් නමයක එකතුවෙන් ගුවන් යානය සොයා මේ වනවිටත් මෙහෙයුම සිදුවන අතර, ඒ සඳහා ගුවන් යානා 34ක් හා නෞකා 40ක් දිවා රාත්‍රී මෙහෙයුම් සිදුකරන බව පැවසෙයි.
කෙසේ වෙතත්, අතුරුදන් වූ ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගෙන් වැඩි පිරිසක් චීන ජාතිකයන් වීම තුළ චීනය විසින් මැලේසියාව වෙත මෙවැනි අවධාරණයක් සිදුකර ඇති බව කියැවෙයි.
මේ අතර, අතුරුදන් වූ ගුවන් යානයට සිදු වූ දේ 'අභිරහසක්' බව මැලේසියාවේ සිවිල් ගුවන් සේවා ප්‍රධානී අසරුදීන් අබ්දුල් රහ්මාන් පවසයි. මේ නිසා යානය පැහැර ගැනීමේ හැකියාවද බැහැර කළ නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.
එමෙන්ම, මැලේසියානු බලධාරීන් විසින් ගුවන්යානය සොයා සිදුකරන මෙහෙයුම් මලක්කා සමුද්‍රසන්ධියේ සිට දකුණු චීන මුහුද දක්වා තවදුරටත් විහිදුවා ඇති බවද පැවසෙයි.
ක්වාලාලම්පූර් නගරයේ සිට චීනයේ බෙයිජිං අගනුවර බලා ගුවන් ගත වූ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්370 යානය එක්වරම රේඩාර් තිරයෙන් අතුරුදන් වී තිබුණු අතර, යානය එක්වරම හැරවීමක් සිදුකර ඇති බවටද තොරතුරක් පවතී.
කෙසේ වෙතත්, යානය යම් ලෙසකින් මුහුදුට වැටුනේ නම් කිසිවෙකුත් දිවි බේරාගෙන ඇතැයි විශ්වාස කළ නොහැකි බව එහි ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට දැනුම් දීමට මැලේසියානු බලධාරීන් කටයුතු කර තිබේ.
එමෙන්ම, සොරාගත් ගුවන්ගමන් බලපත් යොදා ගෙන යානයට ගොඩ වූ දෙදෙනා ආසියානු පෙනුමක් නොමැති පුද්ගලයන් බවද මැලේසියානු බලධාරීහු සනාථ කරති.