බංග්ලාදේශයට බලපෑ මෝරා සුළි කුණාටුවට පසුව එරට නැගෙනහිර වෙරළ කලාපයේ ධීවරයන් රැසක් අතුරුදන්ව ඇති බව කියයි.
දැඩි සුළං සමග ප්රබල වර්ෂාවක් ඇති කළ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (01දා) වනවිට පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව දහස් ගණනක් පිරිසට උන්හිටි තැන් අහිමි කර තිබුණි.
මියන්මාර දේශසීමා ආසන්න කලාපයේ මෙන්ම, චිතගොන් සහ කොස්සස් බසාර් ආදී ප්රදේශ සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමට ලක්වූ ප්රදේශ ලෙස සැලකෙයි.
මෙම සුළි කුණාටුවෙන් රොහින්ග්යා මුස්ලිම්වරු රැසක් පීඩාවට පත්ව ඇති බවත්, සුළි කුණාටුවේ වැඩිම බලපෑම ඔවුන් වෙත ඇති කර තිබෙන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
සුළි කුණාටුවට පෙර සිටම සියලු ධීවර බෝට්ටු වරාය වෙත කැඳවා තිබුණත්, ප්රදේශයේ ධීවර ප්රජාව පවසන්නේ ධීවරයන් 150කට වැඩි පිරිසක් සුළි කුණාටුව හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි.
