ඉන්දියාවේ, මුම්බායි නගරයේ රස කැවිලි වෙළෙඳ සැලක් ආශ්රිතව ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පුද්ගලයන් 12 දෙනාම ගින්නට හසුවූ වෙළෙඳ සැල වෙතින් මුදාගැනීමට හැකි වුවත්, ඔවුන් රෝහල් කරා ගෙනයන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්වූ බව බලධාරීහු පවසති.
ඉන්දියාවේ වේලාවෙන් අද අලුයම් කාලයේදී මෙම ගින්න ඇතිවී තිබෙන අතර, ගින්නට හසුවී ඇති සේවකයන් එහි බිම් මහලෙහි නිදාගෙන සිට ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, ගින්න නිසා ඇති වූ දැඩි උණුසුම හේතුවෙන් ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවත්, බොහෝදෙනා එහි සිරවන්නට ඇති බවත් විශ්වාස කෙරෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙම වෙළෙඳ සැල් තුළ පවතින අවම නඩත්තුව මෙන්ම, නිසි ආරක්ෂණ විධි නොමැති වීම ගින්න වේගයෙන් පැතිරීමට හේතුව විය හැකි බව බලධාරීහු පවසති.
මේ හා සමාන ගින්නක් මුම්බායි ඉදිකිරීම් වැඩබිමක පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදුවූ අතර, එහිදී පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබුණි.